#Noගුටි ‘ළමා සුරැකුම් යාත්‍රාව’ ළමා ආරක්‍ෂණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සෙනෙහස යදිමින් සමාප්ත වෙයි

SCCT - LAMA SURAKUM YATHRA - IMAGE 1

 



 

 

 

  • පාසල් ළමුන්ට ශාරීරික දඬුවම් ලබාදීම හෙළා දකිමින් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී.
  • ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු ‘#NOගුටි ZONE’ ආදර්ශ පාසල් සංකල්පය හඳුන්වා දෙයි.

කොළඹ, අප්‍රේල් 2, 2022 – ළමා ආරක්ෂණය පිළිබඳ මහජන නියෝජිතයින්ගේ අවධානය යොමු කරවමින් #NOගුටි තේමාව යටතේ ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනේ දෙවැනි අදියර වන ‘ළමා සුරැකුම් යාත්‍රාව’  2022 අප්‍රේල් 2 සෙනසුරාදා නිදහස් චතුරශ්‍රයේදී සමාප්ත විය. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පෙත්සමක් ද ඉදිරිපත් කරමිනි.  ළමා හිංසනයට තිත පදනම (SCC) හා ළමා ආරක්ෂණ සන්ධානයේ (CPA) මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණය වෙනුවෙන් වූ ස්වේච්ඡා තානාපතිවරුන්ගේ  ප්‍රධානත්වයෙන් අප්‍රේල් 1 වැනිදා ගාල්ලෙන් ආරම්භ වූ මෙම වැඩසටහන, ප්‍රධාන වෙරළබඩ නගර කිහිපයක් ඔස්සේ කොළඹට ළඟා විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, ළමා හිංසනයට තිත පදනමේ නිර්මාතෘ-සභාපති සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කාරිනී වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය, ළමා ආරක්ෂණය වෙනුවෙන් වූ ඉදිරිපත්ව සිටින ප්‍රථම ස්වේච්ඡා තානාපතිවරු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සමාජ ක්‍රියාකාරීහු, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, දෙමව්පියෝ ඇතුළු  සහෘද ප්‍රජාව සමාප්ති උත්සවයට සහභාගී වූහ. ළමා ආරක්ෂණය සඳහා ඔවුන්ගේ කැපවීම සනිටුහන් කරමින්, පාසල් ළමුන් විසින් ළමා හිංසනයේ ජාත්‍යන්තර සංකේතය වන නිල් රිබන්පටි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්වල පැළඳීම ද සිදුවිය. මෙහිදී, හොරණ සිරිමෙවන් මහ විද්‍යාලයේ විදුහල්පති නිහාල් කඩුපිටිය මහතා සහභාගීවූවන් සියලු දෙනා වෙනුවෙන් ළමා ආරක්ෂණ දිවුරුම් දීම සිදුකළ අතර, ළමා ආරක්ෂණ තානාපතිවරුන් වන උමාරා සිංහවංශ, හරිත් විජේරත්න සහ ආධිත්‍යා වැලිවත්ත විසින් ගායනා කරන ලද ‘හිත උහුලන්නේ නෑ’ #Noගුටි‍ තේමා ගීතය ද එහිදී වාදනය කරන ලදී.

දරුවන්ට ශාරීරික දඬුවම් පැනවීම නතර කිරීමත්, ශාරීරික දඬුවම් ලබාදීම දණ්ඩ නීති සංග්‍රය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2021 පෙබරවාරි මාසයේදී ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමත් අරමුණු කරගනිමින්, SCC පදනම විසින්, CPA සමඟ එක්ව මෙම #NOගුටි වැඩසටහන ආරම්භ කරන ලදී. ඒ අනුව, ළමුන් 225ක් විසින් ‘#225මඕන’ මැයින් ඓතිහාසික පෙත්සමක් සමාප්ති උළෙලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන්නේ, ළමා ආරක්ෂණය ජාතික ආරක්ෂක න්‍යායපත්‍රයට ඇතුලත්කරන ලෙසත් ශාරීරික දඬුවම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමිනි.

මෙම යාත්‍රාවට  ශාරීරික දඬුවම් නතර කිරීමට කැපවූ  ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘#NOගුටි ZONE’ ආදර්ශ පාසල වන හොරණ සිරිමෙවන් මහා විද්‍යාලයේ සිසුන් 250ක්, දෙමාපියන් 100ක් සහ ගුරුවරුන් 50ක් මෙම යාත්‍රාවට සහභාගි වූ අතර, පසුගිය මාස 18ක කාලය තුළ අපයෝජනයට ලක්වී ඝාතනයට ලක්වූ දරුවන් 12 දෙනා සිහිකරමින් මිනී පෙට්ටි දොළහක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් යාත්‍රාවේ ගෙන යන ලද්දේ  අනාගතයේ සැබෑ උරුමකරුවන්ගේ එකමුතුකම සහ වගකීම මනාව විදහා දක්වමිනි. ‘#NOගුටි ZONE’ ආදර්ශ පාසල යනු ‘Together to #ENDviolence’  හා Solutions Summit Series විසින් ක්‍රියාත්මක කරන මූලික ක්‍රියාන්විත හයෙන් එකකි. එය ප්‍රචණ්ඩත්වය සහ ළමා අපයෝජනයන් නැවැත්වීමට  ක්‍රියා කරන සියලු දෙනා දැනුවත් කිරීමට සහ දිරිගැන්වීමට මෙන්ම 2030 වන විට ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමට අවශ්‍ය දේශපාලන හා මුල්‍යමය කැපවීම් උත්ප්‍රේරණය සඳහා කැපවුණු ගෝලීය ව්‍යාපාරයකි.

උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූ ළමා හිංසනයට තිත පදනමේ නිර්මාතෘ-සභාපති සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කාරිනී වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය, “පක්ෂ පාට භේදයකින් තොරව මහ නගර සභාවේ සිට පළාත් පාලන ආයතන හා පාර්ලිමේන්තුව දක්වා ළමා ආරක්ෂාව දේශපාලනීකරණය කළ යුතුයි. ජාතික ආරක්ෂක න්‍යායපත්‍රයේ හරය ළමා ආරක්ෂාව විය යුතුයි. ශ්‍රී ලංකාවේ අදාළ රජයන් විසින් අත්සන් කරන ලද විවිධ ගිවිසුම්වලට අනුව, ළමා ආරක්ෂණ සන්ධානය ශ්‍රී ලංකාවේ පළමු #NOගුටි Zone පාසල ලෙස, හොරණ, සිරිමෙවන් මහා විද්‍යාලය හඳුන්වාදුන් අතර, එය දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයකට ආලෝකයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරනවා,” යනුවෙන් අවධාරණය කළාය.

2022, පෙබරවාරි 22 දින මෙරට ළමා ආරක්ෂණ ස්වේච්ඡා තානාපතිවරු ලෙස පත්වූ, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, උමාරා සිංහවංශ, හරිත් විජේරත්න, ආදිත්‍යා වැලිවත්ත, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, කලාකීර්ති නිරංජනී ෂන්මුගරාජා, අභිෂේකා ප්‍රනාන්දු, සහ ඔටාරා ගුණවර්ධන යන අය, යාත්‍රා වැඩසටහනේ විවිධ අවස්ථාවන්හිදී විවිධ ආකාරයෙන් දායක වූහ.

සභාවට අදහස් දැක්වූ සාරංග දිසාසේකර මහතා, “#NOගුටි ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු විශාල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ජනතාව දක්වන උනන්දුවයි. මම ළමා සුරැකුම් යාත්‍රාවට සම්පුර්ණයෙන්ම සහයෝගය දක්වන අතර දරුවන්ගේ පෙත්සම අනුමත කරමින් ඊට අත්සන් කිරීමට සියලු දෙනා දිරිමත් කරනවා. අනාගතයේ හඬට සවන් දෙන ලෙස අපි සියලුදනාම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි,” යනුවෙන් පැවසීය.

මෙරට ළමා අයිතීන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් උද්‍යෝගිමත්ව කැපවුණු සංවිධාන එකතු කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු ළමා ආරක්ෂණ සන්ධානය බිහිකිරීමට SCC මුල්විය. මෙරට ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉලක්කගතව සහ සාමූහිකව කටයුතු කිරීම තුළින් වැඩි සාර්ථකත්වයක්, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සමඟ කටයුතු කිරීමේදී, අත්කරගත හැකි බව මෙම සන්ධානය දැඩිව විශ්වාස කරයි.

ළමා ආරක්ෂණය යනු සාමූහික සමාජ වගකීමකි. SCC පදනම සහ CPA එක්ව ළමා අපයෝජනවලට ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වයං පාලන ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීම සඳහා අඛණ්ඩව සහයෝගී ප්‍රයත්න දියත් කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම ප්‍රජාව තුළ යළි යළිත් වින්දිතයින් බිහිවීම වැළැක්වීමට ද බලාපොරොත්තු වෙයි. මෙම සමාජ සද්කාර්යය සඳහා සිය දායකත්වය ලබාදීමට කැමැති ඕනෑම අයෙකුට www.stopchildcruelty.com වෙබ් අඩවිය හෝ www.facebook.com/stopchildcruelty ෆේස්බුක් පිටුව හෝ info@stopchildcruelty.com ඊමේල් ලිපිනය හරහා ඊට සම්බන්ධ විය හැක.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව