අමානා බැංකුවට නැවතත් ISO/IEC 27001:2013 සහතිකකරණය හිමි වේ

Rajitha Dissanayake - Amana Bank CIO

 




 

 

අමානා බැංකුවේ තොරතුරු ආරක්ෂණ පද්ධති වල සුරක්ෂිතතාව වෙනුවෙන් එම බැංකුව වෙත පිරිනමා ඇති ISO/IEC 27001:2013 සහතිකකරණය යලිත් තහවුරු කිරීමට බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා (Bureau Veritas Sri Lanka) ආයතනය පසුගියදා කටයුතු කළේ ය. බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා යනු ලොව පුරා සහතිකකරණයන් නිකුත් කිරීම සඳහා එක්සත් රාජධානියේ ප්‍රතීතන සේවා ආයතනය වන United Kingdom Accreditation Service (UKAS) වෙතින් බලය ලබා ඇති, ලොව සහතිකකරණයන් සම්බන්ධ ප්‍රමුඛයා ලෙස සැලකෙන Bureau Veritas SA France හි සාමාජික ආයතනයකි. ස්වාධීන හා සවිස්තරාත්මක පද්ධති පරීක්‍ෂණයක් හා විගණනයක් සිදු කිරීමෙන් අනතුරුව, බැංකුවේ තොරතුරු තාක්‍ෂණ අංශය සහ ආපදා ප්‍රතිසාධන අඩවිය මගින් සපයනු ලබන තොරතුරු තාක්‍ෂණ සේවා සහ යටිතල පහසුකම් වලට අදාළ තොරතුරු ආරක්‍ෂාව කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙම සහතිකකරණය නැවත වරක් පිරිනමා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී රජිත දිසානායක මහතා මෙසේ පැවසී ය. “නැවත වරක් මෙලෙස ISO/IEC 27001:2013  සහතිකකරණය හිමිකර ගැනීමට හැකිවීම අමානා බැංකුව ලැබූ කාලීන ජයග්‍රහණයක්. මෙය අපගේ තොරතුරු ආරක්ෂණ පද්ධති වල විශ්වාසනීයත්වය සහ දැඩි පාලනය සම්බන්ධ පැහැදිලි සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් වෙමින් පවතින සහ, තොරතුරු පද්ධති මත වැඩි වැඩියෙන් රඳා පැවතීමට සිදුවී ඇති අද වැනි කාලයක, තොරතුරු වල ආරක්ෂාවට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් සමාගම් හා ආයතන දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. අපගේ ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ඔවුන්ගේ තොරතුරු වල ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම, තාක්ෂණය මත යැපෙන වර්තමාන ලෝකය තුළ ඔවුන්ගේ අපේක්ෂාවන් සුරක්ෂිත කිරීමට අප දරන උත්සාහය තුළ මේ ආකාරයට අපගේ තොරතුරු තාක්ෂණ පද්ධති ලොව තොරතුරු සුරක්ෂිතතාව සම්බන්ධ ඉහළම ප්‍රමිතීන්ට අනුව ඇගයීමට ලක්වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.”

ISO/IEC 27001:2013 යනු තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සම්බන්ධයෙන් පිරිනමනු ලබන සහතිකකරණයකි. එය සමාගම් හා ආයතන වලට තම තොරතුරු තාක්ෂණ භාවිතාවන් සම්බන්ධ අවදානම් ඇතිවිය හැකි අංශයන් හඳුනාගෙන එම අවදානම් අවම කිරීමට අත්වැලක් වන සහතිකකරණයන් එකතුවක ප්‍රධානතම සහතිකකරණය ලෙස සැලකේ.  මේ ආකාරයට අවදානම් හඳුනා ගැනීම ඔස්සේ නිසි අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් ක්‍රියාවට නැංවීම තුළින් තම ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, නියාමන ආයතන සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් තුළ විශ්වාසය තහවුරු කිරීමට සමාගම් හා ආයතන වලට අවස්ථාව ලැබේ.

අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, රහිත සහ මානුෂ හිතවාදී  බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව