22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය ලබයි

Global Finance Best Bank in Sri Lanka 2024 (LBN)

ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත.

හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සපයන මූල්‍ය ආයතන හඳුනා ගන්නා බව ග්ලෝබල් ෆයිනෑන්ස් පවසයි.

 



 

‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ ආසියානු ක්ෂාන්තිකර කලාපයේ හොඳම බැංකු 28 ලැයිස්තුවේ 2024 සංස්කරණයට ඇතුළුව මෙම සම්මානය දිනා ගැනීමෙන් කොමර්ෂල් බැංකුව; ඕස්ටේ‍්‍රලියාවේ CBA  බැංකුව, චීනයේ චයිනා කන්ස්ට්‍රක්ෂන් බැංකුව, හොංකොං හි HSBC බැංකුව, නවසීලන්තයේ ANZ බැංකුව, සිංගප්පූරුවේ UOB බැංකුව, දකුණු කොරියාවේ Hana බැංකුව, ජපානයේ MUFG බැංකුව සහ ඉන්දියාවේ State Bank of India වැනි ප්‍රකට බැංකු අතර සිටී.

මෙම කීර්තිමත් සම්මානය දිනා ගැනීම පිළිබඳ ව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේ පසුගිය මූල්‍ය වර්ෂයේ දී බැංකුව කාර්ය සාධනයේ සංධිස්ථාන කිහිපයක් අත්කර ගත් අතර තිරසරභාවය, ඩිජිටල්කරණය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර ගොඩනගා ගැනීමට උපකාර කිරීම සඳහා නව මාවත් නිර්මාණය කර ගත් බවයි. “මේ සියල්ල වෙළෙඳපොලේ අස්ථාවරත්වය කළමනාකරණය කර ගනිමින් සාක්ෂාත් කර ගත් අතර, අපගේ වෙළෙඳපොළ නායකත්වය නොවෙනස්ව ශක්තිමත්ව වසර අවසන් කිරීමට අපට හැකිවුණා,” යැයි මනතුංග මහතා තව දුරටත් පවසා සිටියේය. මේ සාර්ථකත්වයට ළඟා වූ කොමර්ෂල් බැංකු කණ්ඩායමේ ශක්තියට සහ අධිෂ්ඨානයට මෙම සම්මානය විශිෂ්ට උපහාරයක් වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

2023 වර්ෂයේ දෙසැම්බර් 31වන දිනට රුපියල් ටි‍්‍රලියන 2.656ක සමූහ වත්කම්, රුපියල් ටි‍්‍රලියන 2.148ක තැන්පතු, රුපියල් ටි‍්‍රලියන 1.296ක ණය පොතක් සහ රුපියල් බිලියන 341.566ක දළ ආදායමක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2023 වර්ෂයේ දී රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට විශාලතම ණය දෙන්නා ද විය. තැන්පතු, ණය, මුළු වත්කම්, වෙළඳපළ ප්‍රාග්ධනීකරණය, දළ ආදායම සහ මුළු ප්‍රාග්ධන පදනම අනුව පුද්ගලික අංශයේ බැංකු අතර ඉහළ ම වෙළඳපොළ කොටස් හිමි ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකුව වූයේ ද කොමර්ෂල් බැංකුවයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන අතර ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව