2023 වසරේ කොමර්ෂල් බැංකුව IFC සමග නිපුණතා සංවර්ධන වැඩසටහන් 27ක් හරහා ව්‍යවසායකයින් සවිබල ගන්වයි

SME Skills Development Programmes 2023 (LBN)

කොමර්ෂල් බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එකට එක්ව, 2023 වසරේදී ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පුනර්ජීවනයට සම්මත ආකෘතියක් භාවිත කරමින් විවිධ සංවර්ධන වැඩසටහන් 27ක් පවත්වන ලදී.

මීගමුව, රත්නපුර, වවුනියාව, මහනුවර, කඩවත, යාපනය, අක්කරෙයිපත්තුව, නුවරඑළිය, බදුල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම වැඩසටහන් පවත්වන ලදී. ‘ව්‍යාපාර උපාය මාර්ගය නැවත පුනරීක්‍ෂණය කිරීම,’ ‘ලාභදායීතාවය සහ ඵලදායිතාව,’ ‘ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් වෙළෙඳපොළ අවකාශය,’ ‘ඩිජිටල් සන්නාම කළමනාකරණය’ සහ කාන්තාවන් සඳහාම විශේෂිත වූ ‘කාන්තා සවිබල ගැන්වීම සහ ව්‍යවසායකත්වය’ යන මාතෘකාවන් යටතේ මෙම වැඩසටහන් ආවරණය කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සහතිකලත් පුහුණුකරුවන් විසින් මෙම පුහුණුව ලබාදුන් අතර, ඔවුන් විසින් පවත්වනු ලැබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් හරහා පුහුණුව ලත් කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් එම කාර්යය අඛණ්ඩව ඉදිරියේදී සිදුකෙරෙනු ඇත.

 



 

මෙම පුහුණු වැඩසටහන් මාලාව දියත් කිරීමට පෙර, ව්‍යවසායකයින්ගේ පුහුණු අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව  සමග හවුල් විය. එහිදී මොඩියුල (ආදර්ශ) සැලසුම් කිරීම සහ පෙර හා පසු ඇගයීම් ආකෘති පත්‍ර, නියමු වැඩසටහන් පැවැත්වීම මෙන්ම, අනාගත වැඩසටහන්වලට අදාලව පුහුණු සම්පත්දායකයින් ලෙස බැංකු කාර්ය මණ්ඩලය පුහුණු කිරීමද සිදුකෙරිණි.

කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ/සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, එස්. ගනේෂන් මහතා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය. “ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය ලබාදෙන්නා වන කොමර්ෂල් බැංකුව සෑම විටම මෙම ව්‍යවසායකයින් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කුසලතා වැඩසටහන්වල අරමුණ වන්නේ සේවාදායකයින්ගේ ව්‍යාපාර කළමනාකරණය ඉහළ නැංවීමයි. එහිදී COVID-19 වසංගතයේ දිගුකාලීන ඍණාත්මක බලපෑම් සහ වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑම් අවම කිරීම අපගේ බලාපොරොත්තුවයි. එසේම අපගේ අවසාන ඉලක්කය වන්නේ, මෙම ව්‍යවසායකයින්ගේ තිරසාර ව්‍යාපාර ක්‍රියාකාරිත්වය ස්ථාපිත කිරීමයි.”

කොමර්ෂල් බැංකුව රටේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සඳහා, මූල්‍ය දැනුවත් කිරීම් සහ මූල්‍ය සාක්‍ෂරතාව වැඩසටහන් සංවිධානය කිරීමේ පුරෝගාමියා වෙයි. මෙම වැඩසටහන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. කොමර්ෂල් බැංකුව විසින් පසුගිය දශකය තුළ විවිධ අංශවල ව්‍යවසායකයින් 15,000කට පමණ ප්‍රතිලාභ ලබා දෙමින්, එවැනි වැඩසටහන් 170කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව