2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීමේදී SLT-MOBITEL තවදුරටත් සන්නිවේදන ක්ෂේත්‍රයේ අංක 1 තහවුරු කරගනියි

Image (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීම් අනුව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. විශිෂ්ට කාර්යසාධනය, යහපත් මූල්‍ය වර්ධනය සහ ආර්ථිකයට ලබාදුන් දායකත්වය යන සාධක සැලකිල්ලට ගනිමින්  SLT-MOBITEL  වෙත මෙම ඇගයීම පිරිනමා තිබේ.

2021-2022 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පෙර නොවූවිරූ අභියෝග රාශියකට මුහුණ දීමට සිදු විය. කෙසේ නමුත් එකල පැවති අභියෝගකාරී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ පවා මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තමන් සතු ස්ථානය අඛණ්ඩව පවත්වා ගැනීමට SLT-MOBITEL සමත් විය.

එමෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාව තුළ පවා ජනතාවට අඛණ්ඩව සම්බන්ධතා පහසුකම් සැලසීමටත්, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ඩිජිටල් ක්‍රමයට තම එදිනෙදා කටයුතු සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් SLT-MOBITEL කටයුතු කළේ ය. මීට අමතර තම ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය අඛණ්ඩව ක්‍රියාවට නංවමින්, අනාගත වෙනස්කම්වලට ගැළපෙන නවීන තාක්ෂණයන් භාවිතයට ගැනීමට SLT-MOBITEL පියවර ගත් අතර, එම නිසා මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස SLT-MOBITEL සතු ස්ථානය තවදුරටත් තහවුරු විය.

වර්තමානය වන විට සිය පුළුල් ජාල පහසුකම් සහ නව්‍ය සේවාවන් එකතුව ඔස්සේ මෙරට පුද්ගලයන්, ව්‍යාපාර සහ රාජ්‍ය ආයතන ඇතුළුව සියලුම පාර්ශ්වයන්ට උසස් මට්ටමේ සම්බන්ධතා පහසුකම් හා විසඳුම් ලබාදීමට SLT-MOBITEL සමත් වී ඇත. පුළුල් ආවරණ පරාසය මෙන්ම නවීනතම තාක්ෂණය නිසා SLT-MOBITEL මේ වනවිට රටේ සන්නිවේදනයේ ජීවනාලිය බවට පත් වී ඇති අතර, ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට උරදෙමින්, සමස්තයක් ලෙස දුරකථන සේවා ක්ෂේත්‍රයේත් රටේත් සංවර්ධනයට සුවිශාල දායකත්වයක් ලබාදෙමින් සිටී.

SLT-MOBITEL වෙත මෙම ඇගයුම හිමි වීම, නවීන තාක්‍ෂණය, නවෝත්පාදනය, උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව සහ තිරසාරත්වය උදෙසා සමාගම පෙන්නුම් කරන කැපවීම තහවුරු කරන සාක්ෂියක් ලෙසද හැඳින්විය හැකි වේ.

“2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වීමට සමත් වූ එකම දුරකථන සේවා සමාගම බවට පත්වීමට හැකි වීම අප ලද ගෞරවයක්. 2021 සහ 2022 වසරවලදී සමාජ හා ආර්ථික අභියෝග හමුවේ නොසැලී, විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට අපට හැකි වුණා. එමෙන්ම වසංගත තත්ත්වය පැවති කාලයේදී පවා අප ඉතාමත් කාර්යක්ෂම ව්‍යාපාරික ක්‍රමෝපායක් අනුගමනය කර ඇති බව, මෙම ඇගයුම මගින් සනාථ වනවා. පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන නවමු ආකාරයේ සේවාවන් සපයමින් ඔවුන්ගේ ජීවිත තුළ සැබෑ වෙනසක් ඇතිකිරීම යනු, අපගේ කණ්ඩායමේ සියලුම දෙනා මෙහෙයවනු ලබන පොදු ඉලක්කයයි.” SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

වාර්ෂිකව පැවැත්වෙන ‘Business Today TOP 40’ මෙවර සංවිධානය කරන ලද්දේ 25 වන වරට ය. රට මුහුණ දුන් අතිශය දුෂ්කර කාලසීමාවක් තුළ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, උද්‍යෝගය සහ කැපවීම වැනි ගුණාංග ප්‍රදර්ශනය කරමින් විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගත් සමාගම් හා ආයතන කිහිපයකට එම ඇගයීම හිමි විය.

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජයග්‍රාහකයන්ට සම්මානය ප්‍රදානය කිරීම සිදුකෙරිණි. මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සහ සමාගම් හා ආයතන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. SLT-MOBITEL වෙනුවෙන් සම්මානය පිළිගන්නා ලද්දේ එහි සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසිනි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව