මැයි මස 22 දා දක්වා අයදුම්පත් භාරගැනේ
ශ්‍රී ලංකාව, කොළඹ: ශ්‍රී ලංකාවේ තිරසාර සංචලතාව, බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශවල විප්ලවීය වෙනසක් සිදුකරන මීළඟ හරිත බලශක්ති ශූරයන් සොයා යාම සඳහා මේ වසර මුලදී දියත් කරන ලද 2021 හරිත බලශක්ති ශූරයා (Green Energy Champion) තරඟාවලිය සාර්ථකව ඉදිරියට යමින් පවතී.
දිවයින පුරා විසිරී පැතිරී සිටින සියලුම බලශක්ති නවෝත්පාදකයින් වෙත විවෘත ආරාධනයක් අප්‍රේල් මාසයේ දී සිදු කරන ලද අතර, ඒ අනුව බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් භාවිතය ප්‍රවර්ධනය කරන නිර්මාණාත්මක හා නවෝත්පාදන උපාංග, ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට සියලුම ආරම්භක මට්ටමේ (startups) හෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මැයි මස 22 දක්වා අවස්ථාව පවතී.
2016 වසරේ දී මුල්වරට හරිත බලශක්ති ශූරතා තරඟාවලිය මෙරට දියත් කරන ලද්දේ විශේෂයෙන් මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව තුළ හරිත බලශක්ති විසඳුම් නව්‍යකරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම දිරිගැන්වීමේ අරමුණින් ය. මෙහි පළමු අදියරයන් ත්‍රිත්වය සඳහා ඉතා විශිෂ්ට මට්ටමේ ප්‍රතිචාර හිමිවුණු අතර ගෘහස්ත මට්ටමින් පුද්ගලිකවත්, විශ්ව විද්‍යාල මට්ටමේ සිට පළාත් මට්ටමින් රාජ්‍ය මට්ටමින් මෙන්ම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් දක්වා විශාල පිරිසකගේ සහභාගීත්වය හිමි විය. වසර ගණනාවක් පුරා මුද්‍රිත හා අන්තර්ජාල මාධ්‍ය හරහා බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම සඳහා GEC වැඩසටහන ද වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය – සූර්ය සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධව ජර්මානු ෆෙඩරල් විදේශීය කාර්යාලය වෙනුවෙන් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH, විසින් මෙම හරිත බලශක්ති ශූරයා තරඟාවලිය සංවිධානය කරනු ලැබේ.
පූර්වයේ පවත්වන ලද තරඟ මඟින් – අනාගත අපට අවශ්‍ය බලශක්තියේ පදනම පුනර්ජනනීය මාධ්‍යයන් බව පිළිගැනෙන හවුල් දැක්මක් ඇති කිරීම සඳහා සූර්ය, ජෛව ස්කන්ධ හා ජල ශක්තිය කාර්යක්ෂමව උත්තේජනය කිරීම වැනි සාර්ථක මුලපිරීම් කිහිපයක් ම ඇති කර තිබේ. පෙර වසරවල දී ජයග්‍රහණය කරන ලද ව්‍යාපෘති රටේ තිරසාර බලශක්තිය උත්පාදනය සඳහා විශිෂ්ට ගණයේ ප්‍රායෝගික ආකෘතීන් ඉදිරිපත් කිරීමට සමත් වූ අතර අනාගතයේදී එවැනිම ව්‍යාපෘති සඳහා මග විවර කර ඇත.
මෙම වසරේ හරිත බලශක්ති ශූරයා තරඟාවලිය, තරඟකරුවන්ට Hatch Works සහ Good Life X (GLX) විසින් ක්‍රියාවට නංවන Green Energy Champion Accelerator 2021 නම් ව්‍යාපාර වේගයෙන් බලගැන්වීමේ වැඩසටහනටද සහභාගී වීමේ අවස්ථාව ලැබේ. ඒ හරහා ඔවුන්ගේ ව්‍යාපාර අදහස් වඩා හොඳින් සකස් කර, වැඩි දියුණු කර ගැනීමටත් දේශීය හා ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සඳහාද සූදානම් කෙරේ. හරිත බලශක්ති ශූරයා ද නිෂ්පාදන සංවර්ධන ආධාර වශයෙන් රුපියල් මිලියන 1.5 ක් දක්වා පිරිනමයි.
මාස හයක ව්‍යාපාර වේගයෙන් බලගැන්වීමේ වැඩසටහනෙන් පසුව හරිත බලශක්ති පාර්ශවකරුවන් අතර ජාලගත කිරීම පහසු කිරීම අරමුණු කර ගනිමින් විධිමත් හවුල්කරු ගැලපීමේ (formal Partner Matchmaking) වැඩසටහනක් පැවැත්වේ.
2021 හරිත බලශක්ති ශූරයා තරඟාවලියේ අවසාන අදියර ‘Demo Day’ ලෙසින් හැඳන්වෙන අතර එදින කෙටි ලැයිස්තුගත අපේක්ෂකයින්, ඔවුන්ගේ පුහුණුව හා ජාලකරණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු, සිය නව අදහස් හා විසඳුම් ඉදිරිපත් කරනු ඇත.
ඔබත් තිරසාර බලශක්ති ව්‍යාපාරයේ යෙදී සිටින්නෙක් නම් හරිත බලශක්ති ශූරයා තරඟය ඔබ වෙනුවෙන්ම වන බවට සැකයක් නැත! මෙමඟින් ඔබේ ව්‍යාපාරය ස්ථාපිත කිරීමට හා වැඩි දියුණු කර ගැනීමට ඔබට ව්‍යාපාර සහ වෙළඳපොළ දැනුම සමඟ සක්‍රියව සහයෝගයද ලබා දෙන අතරතුර, ඔබේ ශක්‍යතාවන් හදුනා ගැනීමට සහ වෙළඳපොළ ප්රවේශයේ දී හමුවන බාධා අවම කර ගැනීමටත් සහය සැපයේ. තවද, එය ප්‍රධාන දේශපාලන පාර්ශවකරුවන්ට ඔබ හඳුනාගැනීමට අවස්ථා ඇති වන අතරම, ගෝලීය වෙළෙඳපොළ තුළ ඉදිරියට යාමේ අවස්ථා පුළුල් කර දේ.
එබැවින්, ඔබට සහ ඔබේ ව්‍යාපාරයට හොඳ අවස්ථාවක් වනු ඇති බවට, මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට හෝ අයදුම් කිරීමට www.greenenergychampion.lk වෙත පිවිසෙන්න!