ෆස්ට් කැපිටල් සහ HNB එක් වී මෙරට ප්‍රථම වරට ඒකක භාර ආයෝජකයන්ට ඩිජිටල් ක්‍රමයට මුදල් ආපසු ලබාගැනීම හා ගෙවීම් කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතයි

First Capital and HNB Partner to Introduce a Groundbreaking Digital Withdrawal and Payment Facility for Unit Trust Investors (LBN)

2024 ජනවාරි 24, කොළඹ: ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයෝජන ආයතනයක්වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “First Capital Money Plus Fund” හඳුන්වා දීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදය මගින් ඒකක භාර ආයෝජන ගිණුම් සඳහා නිකුත්කරන EMV සක්‍රීය කාඩ්පත් හරහා ඩිජිටල් ක්‍රමයට මුදල් ලබාගැනීමට හා ගෙවීම් කිරීමට අවස්ථාව ලැබෙන අතර, එමගින් එම ගිණුම් හිමියන්ට ගනුදෙනු කිරීම සඳහා නව ක්‍රම කිහිපයක් හිමි වනු ඇත.

 



 

මෙම ක්‍රමවේදයේ ආරක්ෂාව හා විනිවිදභාවය තහවුරු කිරීම සඳහා භාරකාර  සේවාව  ලබාගැනීමට ෆස්ට් කැපිටල් සමාගම HNB සමග අත්වැල් බැඳගැනීමට කටයුතුකර තිබෙනවා. මෙම නව අරමුදල මගින් ඒකක භාර ගිණුම් හිමියන්ට EMV කාඩ්පත් ඔස්සේ ඉතාමත් පහසුවෙන් තම ආයෝජන වෙත පිවිසීමට හැකියාව ලැබේ.

මෙම නව පියවර සම්බන්ධයෙන් ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක උප සභාපති (වත්කම් කළමනාකරණ) කවින් කරුණාමූර්ති මහතා මෙසේ අදහස් පළකළේ ය. “First Capital යනු මෙරට ප්‍රාග්ධන වෙළඳපොළ පෙරළියකට ලක්කළ හඳුන්වා දීම් රැසක් සිදුකළ සමාගමක්. ’Performance First’ යන සන්නාම ප්‍රතිඥාවේ අර්ථය මත පදනම් වෙමින්, සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමවලට වඩා ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දෙන මෙම අරමුදල් සඳහා වඩාත් පහසුවෙන් හා ක්ෂණිකව පිවිසිය හැකිවන මෙම පෙරළිකාරී විසඳුම හඳුන්වා දීමට අප පියවර ගන්නවා. ඉක්මනින් මෙම නව පහසුකම වෙළඳපොළට රැගෙන ඒමට අප බලාපොරොත්තුවන අතර, මෙය ‘මුල්‍ය විසඳුම් තුළින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම’ යන අපගේ දැක්මෙහි වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

HNB හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොග බැංකුකරණ සමූහය) දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ අදහස් දැක්වී ය. “ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහා තෝරාගත් මූලික භාරකරු ලෙස කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. ‘Domestic Systemically Important Bank’ කාණ්ඩයේ බැංකුවක් මෙන්ම, වසර 135 කට අධික උරුමයක් සමගින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු අතර පුළුල්ම පාරිභෝගික බැංකුකරණ ආවරණ පරාසයක් හිමි බැංකුව වශයෙන්, මේ භූමිකාවට හොඳම සුදුස්සා අප බව අප විශ්වාස කරනවා. නව ඩිජිටල් සේවා හඳුන්වා දීම සඳහා අප සතු තාක්ෂණික හැකියා ඔස්සේ පෙර නොවූ විරූ සේවාවක් හා පහසුවක් සෘජුවම ගනුදෙනුකරුවන් වෙත ළඟා කරදීම අපගේ ඉලක්කයයි.”

ශ්‍රී ලංකා විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි මෙම නව ඒකක භාර අරමුදල නිසා ආයෝජකයන්ට දිවයින පුරා විසිරුණු ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවකදී මෙන්ම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මුදල් ගෙවන ස්ථාන (POS terminals) සහ ඩිජිටල් ගෙවීම් වේදිකාවලදී තම ආයෝජන වෙත පිවිසීමට හැකියාව ලැබේ. මේ ආකාරයට ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් තම මුදල් භාවිතා කිරීමට හැකියාව ලැබීම, ශ්‍රී ලංකාවේ ඒකක භාර වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයකට තුඩුදෙනු ඇතැයි ෆස්ට් කැපිටල් සමාගම විශ්වාසය පළකරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව