ෆයිනෑන්ස්ඒෂියා 10 වන වරටත් කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස නම් කරයි

ComBank Logo

 




 

 

ගෝලීය සහ කළාපීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් එම රටවල හොඳම දේශීය බැංකු ලෙස සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2021 ෆයිනෑන්ස්ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගන්නා ලදී.

ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය වෙනුවෙන් ඉතාමත් ජනප‍්‍රිය සහ වඩාත් විශ්වාසදායක සම්මාන මාලාවක් පිරිනැමීම වෙනුවෙන් කීර්තියක් දිනා තිබෙන ෆයිනෑන්ස්ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 10 වන අවස්ථාව මෙය වේ.

කොමර්ෂල් බැංකුව මෙවර මෙම සම්මානය දිනාගත්තේ චීනයේ ICBC, සිංගප්පූරුවේ DBS, දකුණු කොරියාවේ ෂින්හන් බැංකුව, හොංකොං හි, බෑන්ක් ඔෆ් චයිනා, තායිවානයේ CTBC, ඉන්දියාවේ HDFC බැංකුව, පාකිස්තානයේ MCB බැංකුව, බංග්ලාදේශයේ ද සිටි බැංකුව, මැලේසියාවේ පබ්ලික් බැංකුව, ඉන්දුනීසියාවේ බෑන්ක් සෙන්ට‍්‍රල් ඒෂියා, තායිලන්තයේ කේබෑන්ක්, වියට්නාමයේ Techcombank, පිලිපීනයේ BDO යුනිබෑන්ක් යන ජාත්‍යන්තරව කීර්තියක් දිනා තිබෙන බැංකු සමග එකම තලයක වර්ගීකරණයක් දිනාගනිමිනි.

‘මෙම සම්මානය දස වතාවක්ම දිනාගැනීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. අපගේ මතකයේ තිබෙන අසීරුම වසරක අපගේ කාර්ය සාධනය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් කිරීමෙන් පසුව අපිට මේ සම්මානය ලබාදීම එම සතුටට හේතුවයි,’ යනුවෙන් මෙම සම්මානය දිනා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මේ වසරේ සම්මාන ලබාදීමේදී තිරසාර දර්ශක වගේම කොවිඞ්-19 වසංගතය වෙනුවෙන් අපි සිදුකළ කාර්ය භාරය පිළිබඳවත් අගයා තිබීම අපිට තව තවත් දිරිය ලබාදුන්නා.’

‘ෆයිනෑන්ස් ඒෂියා’ සම්මානය ලබාදීම සඳහා බැංකුවල කාර්ය සාධනය, වසරේ ප‍්‍රධාන වැඩසටහන්, ලාභය ඇතුළු මූල්‍ය ප‍්‍රතිඵල, අක‍්‍රීය ණය අනුපාතය, අලාභ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කිරීම්, කොටසකට අදාළ ලාභය, ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත, සමස්ත වත්කම්, ණය, තැන්පතු සහ ශාඛා ජාලය, දැක්ම සහ දිගුකාලීන උපාය මාර්ගය සලකා බලනු ලබයි. මීට අමතරව, ළඟම තරඟකරුවා සමග සැසඳීමේදී වෙළඳපොළ තත්ත්වය සහ කොටස් වෙළඳපොළ විශ්ලේෂකයින්ගේ ප‍්‍රතිචාරය යන කරුණුද මෙම සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට ගනී.

‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීම සඳහා 2020 වසරේ බැංකුවේ කාර්ය සාධනය සැලකිල්ලට ගෙන තිබේ. මේ අනුව, වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය, දළ ආදායම, බදු වලට පෙර ලාභය, බදු වලට පසු ලාභය, සමස්ත වත්කම්, සමස්ත තැන්පතු, දළ ණය, තැන්පතුවල වෙළෙඳපොළ කොටස, ණයවල වෙළෙඳපොළ කොටස සහ CASA අනුපාතය මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම වාණිජ බැංකුව මෙන්ම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ තෙවැනියට විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සතුව 2020 මූල්‍ය වසර අවසන් වනවිට රුපියල් ටි‍්‍රලියන 1.736 ක (ඇමරිකානු ඩොලර් බිලියන 9.285 ක) සමස්ත වත්කම් ප‍්‍රමාණයක් තිබුණි. එසේම, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ මට්ටමේ දේශීය වැදගත්කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස නම් කළ මෙරට එකම පුද්ගලික වාණිජ බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. බැංකුව විසින් 2020 වසරේදී මෙරට බැංකු අංශයේ ණය සහ අත්තිකාරම්, තැන්පතු සහ වත්කම් වලින් පිළිවෙලින් 10.7% කට, 11.2% කට සහ 11.8% කට හිමිකම් කියන ලදී.

කොමර්ෂල් බැංකුවේ වත්කම්වල ගුණාත්මකභාවය මෙරට බැංකු කර්මාන්තයේ ඉහළින්ම තිබෙන අතර එහි ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් (CASA) 2020 වසරේදී සමස්ත තැන්පතු වලින් 42.72% ක් බවට පත්වූයේ අනිකුත් තරඟකාරී බැංකු වලට සාපේක්ෂව හොඳම ප‍්‍රතිශතය වාර්තා කරමිනි.

බැංකුව විසින් 2020 වසරේදී සිදුකළ ප‍්‍රමුඛ කාර්යන් අතරට නව සේවාවන් සහ නිෂ්පාදන 18 ක් හඳුන්වාදීම කැපී පෙනුණු අතර එයින් හයක්ම ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළට හඳුන්වා දුන්නේ පළමු වරටයි.

තමන්ගේ ගනුදෙනුකරුවන්ට කොවිඞ්-19 වසංගතය වෙනුවෙන් සහනයක් ලබාදුන් බැංකු අතර කොමර්ෂල් බැංකුවද පෙරමුණේ සිටින බැංකුවක් ලෙසින් කැපී පෙනේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත්කළ සහන වලට අමතරව බැංකුව විසින් විවිධ ගනුදෙනු කරුවන් ඉලක්ක කරගනිමින් කොවිඞ්-19 වසංගතය වෙනුවෙන් සහන ලබාදීමට සහන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කරන ලදී. එසේම, 2020 මුල් අර්ධය තුළදී සියළුම ණයවල වාර්ෂික පොලී අනුපාතයද 4% සිට 5% ක් දක්වා අඩුකිරීමටද බැංකුව කටයුතු කළේය.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව