ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා ChildFund විසින් තරුණයින්ට ළමා ආරක්ෂණ උපදේශකයන් වීමට අවශ්‍ය පහසුකම් සපයයි

Image Three

 



 

 

 

ChildFund Sri Lanka ආයතනය විසින් ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC) සඳහා නායකත්ව පුහුණු කඳවුරක් දඹුල්ලේදී පසුගියදා පැවැත්විය. ‘AYEVAC’ නැමති මෙම තරුණ එකමුතුව ස්වාධීන ව්‍යාපාරයක් වන අතර එය 2018 වසරේ දී ආරම්භ කරන ලදී. ChildFund Sri Lanka ආයතනය විසින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක මෙම AYEVAC තරුණ එකමුතුව බලමුලු ගන්වා ඇත.ChildFund Sri Lanka ආයතනයේ සහයෝගයෙන් වයස අවුරුදු 15-29 අතර AYEVAC තරුණ සාමාජිකයින්, ළමා ආරක්ෂණය ජාතික වශයෙන් වැදගත් වූ ප්‍රමුඛතාවයක් බව රජයට ඒත්තු ගැන්වීමට කටයුතු කරයි. පසුගිය මාස හය තුළ AYEVAC විසින් සාර්ථක ලෙස කරනු ලැබූ තරුණ බලමුලු ගැන්වීම් හරහා මේ වන විට සියලුම දිස්ත්‍රික්ක වල තරුණ සාමාජිකයින් 750 කට අධික සංඛ්‍යාවක් බඳවා ගෙන ඇත.

‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC), ChildFund Sri Lanka ආයතනය විසින් ළමා හා තරුණ උද්දේශන මණ්ඩලයක් ලෙස ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලදී. ළමුන්ට එරෙහි ලිංගික, කායික, මානසික සහ මාර්ගගත අපයෝජන වැළැක්වීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම මීට ඇතුළත් වේ. AYEVAC තරුණ එකමුතුව, සෑම දරුවෙකුගේම අයිතිය සුරක්ෂිත කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳ ChildFund Sri Lanka ආයතනයෙහි විදි විධානයන්ට වටිනාකමක් එක් කරනු ලබයි.

තරුණයින්ට ඔවුන්ගේ ළමා කාලය තුළ දී මෙම ගැටළු අත් විඳීමට සිදුව ඇති හෙයින්, උපදේශකයින් ලෙස ළමුන් වෙනුවෙන් පෙනී සිටීමට වැඩි හැකියාවක් ඇති ස්ථානයක මේ වන විට ඔවුන් සිටින බව ChildFund ආයතනයේ විශ්වාසයයි. මෙම තරුණ එකමුතුව විසින් නගන හඬ තුළින් ළමුන්ගේ ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කර යුතු යැයි රජයට සහ පාර්ශ්වකරුවන්ට ප්‍රකාශ කළ හැකිය. එම නිසා ඒ සඳහා අදාළ සියලු ප්‍රතිපත්ති සහ භාවිතයන් හිතකර විය යුතුය.

ChildFund Sri Lanka ආයතනය විසින් අනුග්‍රහය දක්වනු ලැබූ මෙම කඳවුරට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් AYEVAC කණ්ඩායමේ තරුණ නායකයින් 100කට අධික පිරිසක් එක්විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා තරුණ සාමාජිකයින්ගේ දෙමාපියන්, ChildFund Sri Lanka කාර්ය මණ්ඩලය සහ දේශීය හවුල්කරුවන් ද එක්ව සිටියහ. තරුණ නායකත්ව ගුණාංග ගොඩනැගීම, ළමා ගැටලු පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා ඉදිරිපත් වියයුතු ආකාරය පිළිබඳ ඉගෙනීම සහ ළමා ආරක්ෂණ ගැටළු පිළිබඳව ඔවුන්ගේ හඬ අවදි කිරීම යන කරණා සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කරන ලදී. AYEVAC සාමාජිකයින් අතර කණ්ඩායම් හැඟීම ගොඩනැගීම, පවතින නායකත්ව ව්‍යුහය සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම හා පාලනය සහ නායකත්ව භූමිකාවන් සඳහා සාමාජිකයින් තෝරා ගැනීම ද මෙම කඳවුර පැවැත්වීමේ අරමුණ විය. තවත් මෙහි අනාගත මෙහෙවර තීව්‍ර කිරීම සහ ඉහළ තලයකට මෙය රැගෙන යාම සඳහා මේ වසරේ ලබන ජූලි මාසයේ සිට 2024 වසරේ ජුනි මස දක්වා වූ කාලය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවයක් විය.

මෙම කඳවුරේ පැවති සැසිවාරවලට සහභාගීවූවන් හට ළමා ආරක්ෂාව සහතික කිරීම පිළිබඳ දැනුම බෙදාගැනීම, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංකල්ප, එය ප්‍රජාවට බලපාන ආකාරය, ඔවුන්ගේ මතයන් ප්‍රකාශ කරන ආකාරය, AYEVAC නායකත්ව භූමිකාවන් පිළිබඳව සමාලෝචනය, මෙම තරුණ එකමුතුවේ අනාගත ගමන් මග සහ නිලධරි මණ්ඩලයේ නිලවරණ සැලසුම් කිරීම සහ සාකච්ඡා කිරීම ආදිය ඇතුළත් විය.

ළමුන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව සම්බන්ධයෙන් වන නීතිරීති පිළිබඳව සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටීමට AYEVAC සාමාජිකයින්ට ප්‍රජා සහයෝගය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වය තුළින් දැන ගැනීමටද මේ අවස්ථාවේදී AYEVAC තරුණ තරුණියන්ට හැකි විය.

ChildFund Sri Lanka ආයතනය 2019 වසරේ සිට AYEVAC සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නැගීමට සහ සහ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ ප්‍රතිපත්ති තහවුරු කරීම සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන් බලමුලු ගන්වයි.

ChildFund Sri Lanka ආයතනයෙහි එක් මූලික වැඩසටහනක් වන්නේ ළමා ආරක්ෂණය සහ උද්දේශනයයි. මෙම තරුණ එකමුතුව සඳහා සහය දැක්වීමට අදාළ මැදිහත්වීම් කරමින්, ChildFund Sri Lanka ආයතනය එම තරුණ එකමුතුව ශක්තිමත් කිරීම සහ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රජාවන් අතර හැකියාව වර්ධනය කිරීමට සහ ක්‍රියාවට නැංවීමට උද්යෝගීමත්භාවය ඇති කිරීම සහතික කරයි.

ChildFund Sri Lanka ආයතනයේ ප්‍රධාන කළමනාකරු නාලක සිරිවර්ධන මහතා විසින් AYEVAC සමඟ පවතින සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”රටේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ නායකත්ව හැකියාව වර්ධනය කර ගැනීමට සහ වගකීම් සහිත පුරවැසියන් වීමට අප සහාය ලබා දිය යුතුයි. ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි කිරීම, ඔවුන් වෙනසක් ඇති කරන නියෝජිතයන් පිරිසක් ලෙස බලමුලු ගැන්වීම, ඔවුන් නිරාවරණය කිරීම සහ අවස්ථාවන් ලබා දීම මෙම ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග වේ. රට තුළ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ වැදගත් කතිකාවතට දායක වෙමින් AYEVAC ඔවුන්ට මෙම අවකාශය ලබා දෙනවා. AYEVAC විසින් තරුණ නායකයින් සමූහයක දියුණු කිරීමට පමණක් නොව එය ළමුන් සම්බන්ධ බරපතල ගැටළු අවස්ථා වලින් එකක් ද විසඳීමට පියවර ගෙන තිබෙනවා.”

ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ඔවුන් තුළ ඇති උනන්දුව සහ කැපවීම ප්‍රදර්ශනය කරමින්, තරුණ එකමුතුව ළමුන්ට එරෙහි කරනු ලබන සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කරන ලෙස ඉල්ලා අත්සන් 100,000 කට අධික සංඛ්‍යාවක පෙත්සමක් ද සකසා බලයලත් නිළධාරීන් වෙත දී  තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් AYEVAC තරුණ එකමුතුවේ ජාතික කැඳවුම්කරු වරුණ හෂාන් තරුණයා මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය. ” මෙම තරුණ එකමුතුවේ රට පුරා විසිරි සිටින නායකයින් හමුවීමට සහ ඔවුන් සමඟ සම්බන්ධ වීමට අපට හැකි වුණා. මාර්ගගතව පමණක් නොව අද වන විට කඳවුරේදී පළමු වරට සියලු දෙනාම හමුවීමට හැකි වී තිබෙනවා. අපගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීම මෙම කඳවුර අපට සහාය වුණා. ප්‍රජාව තුළ ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂණ ගැටළු සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අපගේ හඬ අවදි කළ හැකි ආකාරය පිළිබඳව අපට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. එවැනි උත්සවයක් සංවිධානය කිරීමට ChildFund Sri Lanka ආයතනය දරන උත්සාහය අපි අගය කරනවා. අද සමාජයේ කොඳු නාරටිය වී ඇත්තේ වර්තමාන තාරුණ්‍යය. මින් ඉදිරියටත් ChildFund Sri Lanka ආයතනය මෙවැනිම වැඩසටහන් සංවිධානය කරනු ඇති කියා අපි බලාපොරොත්තු වෙනවා.”

AYEVAC හි අරමුණ වන්නේ ChildFund Sri Lanka ආයතනය සමඟ එක්ව හා එහි සහය ඇතිව තරුණ තරුණියන් ළමා ආරක්ෂණ උපදේශකයින් බවට පත් කිරීමට සහ ඔවුන් විසින්ම අනාගත වෙනසක් ඇති කිරීමට හැකි නියෝජිතයන් සහ අනාගත නායකයින් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ව අඛණ්ඩව බලගැන්වීමයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව