හේලීස් තලවකැලේ වතු සමාගම 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වෙයි

TPL

තේ කර්මාන්තයේ පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හේලීස් සමාගමට අයත් තලවකැලේ වතු සමාගම මෑතකදී පැවැත්වුණු 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) රිදී සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වී ඇත.

දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් සිංගප්පූරුවේ සිට පැවැත්වූ සම්මාන උළෙලට ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, තිරසාර හවුල්කරුවන්, ශාස්ත‍්‍රාලීය උගතුන්, වෙළෙඳ සංගම් සහ උපදේශන සංවිධාන 200කට අධික සංඛ්‍යාවක් Online තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයට සහභාගී වූ අතර සිංගප්පූරුවේ ස්විඩන් තානාපති නික්ලස් ක්වාන්ස්ට්‍රොම් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ප්ලාන්ටේෂන්ස් කළමනාකාර අධ්‍යක්‍ෂක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ‘‘දැනට පවත්නා කොවිඞ්-19 වසංගතය, ආර්ථිකයන් හා කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා ව්‍යාපාර, රජයන් සහ සමාජයන් එකට එක්ව කටයුතු කළ යුතු බව සිහිගන්වන්නක් වන අතර එබැවින් ඔවුන්ට  ඕනෑම බාධාවකට එරෙහිව නැගී සිටිය හැකියි. අනාගතයේදී අස්ථාවර ආර්ථික දර්ශනයෙන් ව්‍යාපාර රැක ගැනීම සහතික කිරීම සඳහා වගකිව යුතු පාරිසරික, සමාජීය සහ ආයතනික පරිපාලනීය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. එවැනි විනිවිදභාවයක් එනම්, අනාවරණය හා දත්ත පදනම් කරගත් උපාය මාර්ග අත්‍යාවශ්‍ය වී ඇත්තේ ව්‍යාපාර අවබෝධ කර ගන්නා ආකාරය පිළිබඳව පමණක් නොව ඒවා අනාගතයේදී දියුණුවට හා නොනැසී පවත්වා ගන්නා ආකාරය පිළිබඳව ද හඳුනා ගැනීමටයි. එබැවින් මෙම වැදගත් ක්ෂේත‍්‍රයේ අපගේ ජයග‍්‍රහණ වෙනුවෙන් තලවකැලේ වතු සමාගම ප‍්‍රාදේශීය අනෙක් සමාගම් අතර පිළිගැනීමට ලක් වීම අතිශය සතුටට කරුණක්,’’ යනුවෙන් පැවසුවේය.

Online තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වුණු සම්මාන උළෙලේදී ආසියාවේ විශිෂ්ටතම වාර්තාකරණය සහ ආසියාවේ විශිෂ්ටතම වාර්තාකරණ සැලසුම සඳහා වන රිදී සම්මාන තලවකැලේ වතු සමාගම වෙත පිරිනැමිණි. එහිදී සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලබන වාර්තා ස්වාධීන විනිසුරු මණ්ඩලයක් විසින් විනිශ්චයට ලක් කරන අතර අවසන් විනිශ්චයේදී අවසන් තරගකරුවන්ගේ කොටස්කරුවන් අතර ඔවුන්ගේ කීර්තිනාමය සැලකිල්ලට ගනිමින් පුළුල් ක‍්‍රියාවලියක් අනුගමනය කරනු ලබයි.

’‘අපගේ විනිවිදභාවය සහ ක‍්‍රියාපාටියේ වූ විශිෂ්ටත්වය වෙනුවෙන් ආසියානු කලාපයේ ප‍්‍රමුඛ සමාගම් අතර පිළිගැනීමට ලක් වීම අපට ගෞරවයක්. අපගේ ව්‍යාපාරයේ තිරසාරබව වැඩි කිරීම සඳහා නව අවස්ථාවන් අත්පත් කරගැනීම පිණිස ආර්ථික, පාරිසරික හා සමාජීය බලපෑම් සහ අවදානම් ආදිය අප කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සන්නිවේදනය කිරීමේදී තිරසාර වාර්තාකරණය ඉතා වැදගත් සාධකයක් බවට පත්ව තියෙනවා,’’ යනුවෙන් තලවකැලේ වතු සමාගමේ අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, සේනක අලවත්තේගම, මහතා පැවසුවේය.

ගුණාත්මක සහ අව්‍යාජ වාර්තාකරණයේ සඳහා වන ප‍්‍රමිතීන් ඉහළ නැංවීමට ASRA අඛණ්ඩව කටයුතු කරන අතර ආසියාවේ සමාගම් අතර ප‍්‍රබල තරගයක් හඳුන්වා දී ඇත. 2019 සම්මාන උළෙලෙ සඳහා ජයග‍්‍රාහකයින් තෝරා ගනු ලැබුවේ රටවල් 16කින් ලැබුණු අයදුම්පත් 461කින් වන අතර එහිදී, අවසන් තරග සඳහා කාණ්ඩ 19 යටතේ රටවල් 13ක ආයතන 80 ක් තේරී පත් විය.

ASRA යනු ආසියානු කලාපයේ තිරසාරත්ව වාර්තාකරණ ප‍්‍රමුඛයින් ඇගයීමට සහ සම්මානයට පාත‍්‍ර කරනු ලබන සහ තිරසාර වාර්තාකරණයේ හොඳම භාවිතයන් අගයනු ලබන ආයතනයක් වන අතර ඕනෑම පරිමාණයක සහ  ඕනෑම ක්ෂේත‍්‍රයක රාජ්‍ය, පුද්ගලික සහ ලාභ නොලබන ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන තිරසාරත්ව වාර්තා ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනමනු ලබයි.

තවද, 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය ලබා ගනිමින් TTEL සිය විශිෂ්ටත්වය ප‍්‍රකට කළේය. එමෙන්ම, කෘෂිකාර්මික සහ වැවිලි අංශය, කාර්යසාධන කළමනාකරණ විශිෂ්ටත්වය, ධාරිතාවය ගොඩනැගීමේ විශිෂ්ටත්වය සහ මහා පරිමාණ සමාගම් (Excellence in Performance Management, Excellence in Capacity Building and Extra Large Company) යන කාණ්ඩ සඳහා එම සම්මාන උළෙලේදීම රන් සම්මාන දිනා ගැනීමට සමත් විය. එසේම, 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී, අඛණ්ඩව හය වන වරටත් TTEL සම්මාන දිනා ගත් අතර 2019 සඳහා එම සම්මානය ලබා ගත් එකම වැවිලි සමාගම බවට ද පත් විය. කම්කරු අමාත්‍යංශය විසින් සංවිධානය කළ 2019 සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගීතා සම්මාන උළෙලේදී රන්, රිදී සහ කුසලතා සම්මාන දිනා ගැනීමට ද TTEL සමත් වූ අතර එමගින් සමාගමේ ජයග‍්‍රාහී උපාය මාර්ගය තවදුරටත් කැපී පෙනෙයි.

1878 දී චාස් පී. හේලී විසින් ආනයන හා අපනයන පිළිබඳ අවධානය යොමු කරමින් ගාල්ලේ වෙළෙඳ ආයතනයක් ලෙස පිහිටුවන ලද හේලීස් සමූහය අංශ 16ක් පුරාවට ව්‍යාපාරික අවශ්‍යතා ආවරණය කරමින් ගෝලීයව නිෂ්පාදන හා අලෙවිකරණ කාර්යාල කලාප 5ක් පුරා පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වී ඇත. අද එය ශ්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධ සාර්ථක කථාවක් ලෙස කැපී පෙනෙන අතර ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉක්මවන සහ රටේ මුළු අපනයන ඉපැයීම්වලින් සියයට 3.3කට හිමිකම් කියන පළමු ලැයිස්තුගත ශ්‍රී ලාංකික ආයතනය ද වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව