හත්වන වතාවටත් කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙසින් යූරෝමනි තෝරාගනී

ComBank Logo

 




 

 

ලොව ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන Euromoney විසින් විශිෂ්ටත්වය සඳහා පිරිනමන සම්මාන වැඩසටහින් ආසියානු 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස හත්වන වතාවටත් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.

මෙම ගෞරවණීය සම්මානය ලබාදෙන්නේ යූරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කළාපයේ බැංකුකරණය සහ ප‍්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව වසර පුරා සිදුකරන පුළුල් සමීක්ෂණය සහ වෙළඳපොළ සාමාජිකයින්ගේ සවිස්තරාත්මක තොරතුරු පාදක කර ගනිමිනි.

‘මෙම සම්මානය  ඕනෑම බැංකුවක් ආඩම්බරයෙන් සම්මාන ලැයිස්තුවට එක්කර ගනු ඇතැයි අපට විශ්වාසයි,’ යනුවෙන් මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මෙම සම්මානය හත්වතාවක් දිනාගැනීමත් ගෝලීය කොවිඞ් වසංගතය හමුවේ කාර්ය සාධනය පදනම් කරගනිමින් මෙය දිනාගැනීමත් තුළින් බැංකුවේ ශක්තිය පිළිඹිබු වෙනවා. 2020 දී රට වසා දැමීම හමුවේ ගනුදෙනුකරුවන්ට සිදුවූ බලපෑමට සහනයක් ලෙස පොලිය අඩුකිරීම මෙන්ම පවතින තත්ත්වය හමුවේ වැඩි හානි පූරණ ගාස්තු ප‍්‍රමාණයක් වෙන්කිරීමට සිදුවීමත් හමුවේ මෙම සම්මානය දිනා ගැනීම කැපී පෙනෙන ජයග‍්‍රහණයක් ලෙසින් සඳහන් කළ හැකියි.’

මෙම සම්මානය පිරිනැමීම සඳහා ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ක‍්‍රමවේදයන් වන වෙළෙඳපොළ තත්ත්වය, සිදුකළ ව්‍යාපාර ප‍්‍රමාණය, නව නිෂ්පාදන සංවර්ධනය, කළමනාකරණ පද්ධතිය, ණය වර්ගීකරණය, කාර්යක්ෂම අනුපාතයන් සහ වාර්ෂික ප‍්‍රධාන කාර්ය සාධක දර්ශකයන් සැලකිල්ලට ගනී.

සමස්ත වත්කම් අනුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ සමස්තයක් ලෙස ලංකාවේ තුන්වන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසර අවසන් වනවිට සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.736 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 9.285) ක් දක්වා නංවා ගැනීමට සමත්ව තිබේ. මීට අමතරව, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ මට්ටමේ දේශීය වැදගත්කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස නම්කළ මෙරට එකම පුද්ගලික වාණිජ බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. 2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ බැංකු අංශයේ ණය සහ අත්තිකාරම්, තැන්පතු සහ වත්කම් වලින් පිළිවෙලින් 10.7%ක්, 11.2%ක් සහ 11.8%ක් කොමර්ෂල් බැංකුව සතුවිය.

මෙරට බැංකු කර්මාන්තයේ වත්කම්වල ගුණාත්මක තත්ත්වය අතින් කොමර්ෂල් බැංකුව හොඳම බැංකුවක් ලෙස කැපී පෙනෙන අතර එහි ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් (CASA) අනුපාතය 2020 තැන්පතු අනුපාතයට සාපේක්ෂව 42.72%ක් වන අතර එය අනිකුත් තරඟකාරී බැංකු සමග සැසඳීමේදී ඉහළම අගයයි.

කොමර්ෂල් බැංකුව කොවිඞ්-19 වසංගතයේ බලපෑමට ලක්වූ 2020 වසරේදී නව නිෂ්පාදන සහ සේවා 18 ක් එළිදැක්වූ අතර ඒ තුළින් පිළිඹිබු කරන්නේ අසීරු අවස්ථා වලදීත් ඉදිරියට යෑමට බැංකුවට තිබෙන ගුණයයි. මෙම නිෂ්පාදන වලින් හයක්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයට පුරෝගාමී නිෂ්පාදන වීම කැපී පෙනේ.

තමන්ගේ ගනුදෙනුකරුවන්ට කොවිඞ්-19 වසංගතය වෙනුවෙන් සහනයක් ලබාදුන් බැංකු අතර කොමර්ෂල් බැංකුවද පෙරමුණේ සිටින බැංකුවක් ලෙසින් කැපී පෙනේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත්කළ සහන වලට අමතරව බැංකුව විසින් විවිධ ගනුදෙනු කරුවන් ඉලක්ක කරගනිමින් කොවිඞ්-19 වසංගතය වෙනුවෙන් සහන ලබාදීමට සහන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කරන ලදී. එසේම, 2020 මුල් අර්ධය තුළදී සියළුම ණයවල වාර්ෂික පොලී අනුපාතයද 4% සිට 5% ක් දක්වා අඩුකිරීමටද බැංකුව කටයුතු කළේය.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව