සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 14.5ක ස්ථාවර ආදායමක් සමඟින් රුපියල් බිලියන 2.1ක බදු පසු ලාභයක් වාර්තා කරයි

Softlogic Life 1H financial results (LBN)

සොෆ්ට්ලොජික් ලයිෆ් ජූනි 30 වෙනිදායින් අවසන් වූ මාස 6ක කාල සීමාව තුළ රුපියල් බිලියන 14.5ක දළ වාරික ආදායමක් වාර්තා කිරීමට සමත් වූයේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් සහතික කරමිනි. මෙම දළ වාරික ආදායම පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 17%ක වර්ධනයක් ලෙසද සඳහන් කළ හැකිය.

 



 

සමාලෝචිත කාල සීමාව සඳහා බදු පසු රුපියල් බිලියන 2.1ක ලාභයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. පෙර වසරේ පළමු මාස 6ක කාලය තුළ ලැබූ රුපියල් බිලියන 1ක බදු පසු ලාභය හා සැසඳීමේදී එය 104%ක වාර්ෂික වර්ධනයක් බව සඳහන් කළ හැකිය. පසුගිය වසරේ සමාලෝචිත කාලය තුළ සමාගම විසින් වාර්තා කරනු ලැබූ රුපියල් බිලියන 1.5 බදු පෙර ලාභය මේ වසරේදී පළමු මාස 6 තුළ 91%කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. එය රුපියල් බිලියන 2.9ක් ලෙස සටහන්ව ඇත. ජූනි 30 වැනි දිනෙන් අවසන් අර්ධ වර්ෂයේදී සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 55.1ක් වූ අතර එහි සම කොටස් රුපියල් බිලියන 14.4ක් ලෙස සටහන් විය. සමාගමේ මූල්‍ය ආයෝජනය රුපියල් බිලියන 47ක් වූ අතර එය සමාගමේ සමස්ත වත්කම්වලින් 85%ක් ලෙස දැක්විය හැකිය. එසේම 120%ක නියාමන අවශ්‍යතාවන්ට හා සැසඳීමේදී 2023 දෙසැම්බර් වන විට 367%ක අඛණ්ඩ ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක් පවත්වාගෙන යාමට සමත් වූ සොෆ්ට්ලොජික් ලයිෆ් 23.5% කොටස් මත ප්‍රතිලාභ (ROE) ප්‍රතිශතයක් වාර්තා කරනු ලැබීය.

තවද සමාගම විසින් වසරේ මුල් භාගයේදී සිය රක්ෂණ ඔප්පු හිමියන් වෙත රුපියල් බිලියන 6.8ක හිමිකම් සහ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇත. සිය රක්ෂණ ඔප්පු හිමියන් වෙත ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම වෙනුවෙන් සිය කැපවීම පසුගිය කාර්තුව තුළ රුපියල් බිලියන 3.4ක හිමිකම් ගෙවීම තුළින් මනාව ප්‍රදර්ශනය කිරීමද සොෆ්ලොජික් ලයිෆ් සමත් විය.

රක්ෂණ ක්ෂේත්‍රයේ 14%ක දළ වාරික ආදායමේ සංයුක්ත වාර්ෂික වර්ධන වේගය (GWP CAGR) හා සැසඳීමේදී සමාගම විසින් වසර 10ක දළ වාරික ආදායමේ සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතය ලෙස 26%ක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙන කරුණකි. 2024 ජූනි මස 30 වන දින වන විට සොෆ්ට්ලොජික් ලයිෆ් සතුව සක්‍රිය රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රමාණය 750,000ක් පමණ වන අතර මෙරට තුළ රක්ෂණය ක්ෂේත්‍රයේ දියුණුවට කැප වෙමින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත මිලියන 1.5කට ප්‍රමාණයක් අඛණ්ඩව රක්ෂණය කිරීමට ද සමාගම කටයුතු කර ඇත.

සමාගම විසින් වාර්තා කරනු ලැබූ මෙම මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී හි සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කර සිටියේ “ විවිධ දුෂ්කරතා හා අභියෝගාත්මක ව්‍යාපාරික තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රක්ෂණ සමාගම ලෙස තව දුරටත් අපගේ විශිෂ්ටත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් මනා වර්ධනයක් ඇති කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. 2024 වසරේ දෙවැනි කාර්තුව අවසන් වන විට 17% ඉහළ වර්ධනයක් සමඟින් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සන්නාමය බවට පත්වීමට අපට හැකි වුණා. අපගේ ගැලපෙන උපාය මාර්ගයන් සහ විශිෂ්ටවය වෙනුවෙන් වන නොසැලෙන කැපවීම සම්බන්ධයෙන් කදිම සාක්ෂියක් ලෙස මෙම සාර්ථකත්වය සඳහන් කළ හැකියි.  එසේම එය අපගේ ගමනට එල්ල වන බාධාවන් ජය ගැනීමට මෙන්ම අපගේ පාර්ශවකරුවන් වෙත නිරන්තර වටිනාකම් හිමිකර දීමට අපට අවස්ථාව සලසා දෙනවා.” යනුවෙනි.

එම කාර්තුවේදී සමාගම විසින් දැනට නිකුත් කර ඇති කොටස් 375,000,000න් කොටස් 58,593,750ක් රු. බිලියන 6ක් 102.40 බැගින් රුපියල් බිලියන 6ක කොටස් ආපසු මිලදී ගන්නා බව නිවේදනය කරන ලදී. ශක්තිමත් වර්ධනයන් හා ලාභදායී මූල්‍ය තත්වයක් තුළ අඩු පොලී අනුපාත යටතේ සිය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය ප්‍රදර්ශනය කරමින් ප්‍රාග්ධනය ඉහළ නැංවීමට හා කොටස් හිමියන්ගේ වටිනාකම් ඉහළ නැංවීමට සොෆ්ට්ලොජික් ලයිෆ් මේ තුළින් බලාපොරොත්තු වේ.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “දිනෙන් දින වෙනස්වන ව්‍යාපාර ක්ෂේත්‍රයක් තුළ කටයුතු කිරීමේදී අපගේ සෑම ව්‍යාපාරයක් තුළින්ම පාරිභෝගිකයා වෙත හොඳම දේ ලබා දීමටත් අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට හා අනෙකුත් පාර්ශ්වකරුවන්ට ඉහළ වටිනාකමක් එක් කිරීමටත් සොෆ්ට්ලොජික් ලයිෆ් නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ව්‍යාපාර උපාය මාර්ගයන් හා රක්ෂණ සේවාවන් කෙරෙහි සුවිසල් බලපෑමක් ඇති කරන කෘතිම බුද්ධියේ (AI) ආගමනයත් සමඟ හෙට දවස තවත් තරඟකාරී වනු ඇතැයි අප සිතනවා. සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපගේ සේවාවන් ඉහළ නැංවීමට මෙන්ම ඒ වෙනුවෙන් ඇති වැඩපිළිවෙල පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන අප 2024 වසරේ පළමු භාගය සාර්ථකව නිමාව දුටු මේ මොහොතේ අති සාර්ථක වසරක අවසානයක් සනිටුහන් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

නව්‍යකරණය හඹා යමින් අඛණ්ඩව කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත්ව සිටින සොෆ්ට්ලොජික් ලයිෆ් AI හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම හිමිකම් පියවීම ඇතුළු ඩිජිටල් පරිවර්තන වැඩසටහන් රැසක් හඳුන්වා දෙමින් කඩිනමින් සිය ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ ගනුදෙනුකරුවන්ට මහත් පහසුවක් අත්කර දෙමිනි. සිය මෙහෙයුම් නවෝත්පාදනය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් AI පදනම් කරගත්  තාක්ෂණයන් අනුගමනය කිරීමට මූලිකත්වය ගෙන කටයුත්ු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් ඒ තුළින් සිය සැකසුම් හැකියාවන් වර්ධනය කිරීමේ සුවිසල් ඉදිරි පියවරක් තැබීමට නියමිතය. මෙහෙයුම් කාර්යක්ෂතාව තුළ සැලකිය යුතු  දියුණුවක් තුළින් පාරිභෝගික පහසුව හා තෘප්තිය ළඟා කර දීම ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත.

ආයතනික මෙහෙයුම් විශිෂ්ටත්වය තුළින් පමණක් නොව සුවිශේෂී ආයතනික වාර්තාකරණය වෙනුවෙන්ද ඉහළ පිළිගැනීමට ලක්ව ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් CA Annual Report(TAGS) හා CMA Integrated Reporting Awards වැනි කීර්තිමත් සම්මාන උළෙලයන් හිදී සිය පාලනය හා විනිවිදභාවය තුළින් අවස්ථා ගණනාවකදී ඇගයීමට ලක් වීමද සමත් විය.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයෙකු වන Leapfrog Investments සිටී. එම සමාගම ඩොලර් බිලියන 2 කට වඩා අරමුදල් කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයෝජන සංවිධාන ඇතුළත් ආකර්ෂණීය ආයෝජක පදනමක් ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව