
සෙලාන් බැංකුව මෑතකදී, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් ඉලක්ක කරගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දීපව්‍යාප්ත වැඩමුළු මාලාවක නිල බැංකු සහකරු ලෙස පෙරමුණ ගෙන කටයුතු කළේය. අනාගත උසස් අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම වැඩමුළු මාලාවේ මූලික අරමුණ විය.
දරුවන්ට පාසල් අවධියේ සිටම වගකීම්සහගත ලෙස මුදල් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීම අතිශයින් වැදගත්ය. සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනය තුළින් නොලැබෙන එම දැනුම හා අවබෝධය ලබාදීම සෙලාන් බැංකුවේ අරමුණ විය.
සෙලාන් බැංකුව මෙම දැනුවත් කිරීමේ සැසි පවත්වන ලද්දේ වයස අවුරුදු 13 ත් 18 ත් අතර දරුවන් ඉලක්ක කරගනිමිනි. එහිදී එම සිසුන්ගේ වයස්වලට ගැළපෙන ආකාරයේ ප්‍රායෝගික මූල්‍ය අධ්‍යාපනයක් ලබාදෙන ලද අතර, අයවැය සකස් කිරීම, ඉතිරි කිරීම, ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කිරීම සහ යහපත් මූල්‍ය පුරුදුවලට හුරු වීම යනාදිය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කරන ලදී.
මෙවැනි වැඩසටහන් ඔස්සේ මෙරට පාසල් සිසුන් තුළ මූල්‍ය කළමනාකරණ කුසලතා සහ ආකල්ප වර්ධනය කරවීමට සෙලාන් බැංකුව කලක පටන් උත්සාහ දරමින් සිටී. සමස්ත සමාජය තුළ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම උත්සාහය තුළින්, සිය පෞද්ගලික මූල්‍ය කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නා අතරම දීර්ඝකාලීනව රටේ ආර්ථික ස්ථාවරත්වයට දායක වීමට හැකියාව ඇති පරම්පරාවක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි සෙලාන් බැංකුව විශ්වාස කරයි.
මීට අමතරව ජනතාව අතර යහපත් මූල්‍ය පුරුදු ඇතිකරවීමේ අරමුණින් කලින් කලට විවිධ වට්ටම්, දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය ක්‍රියාවට නැංවීමටද සෙලාන් බැංකුව කටයුතු කරයි. ඒ ඔස්සේ ජනතාව යහපත් මූල්‍ය පුරුදු වෙත යොමුකරවමින් රටේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවන අතරම, තම සේවාවන් ඔස්සේ තරුණ පරපුර සවිබල ගැන්වීම සෙලාන් බැංකුවේ ඉලක්කය වී තිබේ.
“මූල්‍ය සාක්ෂරතාව යනු වැඩිහිටි වූ පසුව වර්ධනය කරගත යුතු දෙයක් නොවෙයි. අවුරුදු 13 වැනි කුඩා වයසක සිටම දරුවන්ට නිසි මූල්‍ය දැනුම ලබාදීම තුළින් අපට ආත්ම විශ්වාසයෙන් යුතුව හා වගකීම්සහගත ලෙස තම මූල්‍ය කටයුතු කළමනාකරණය කරගන්නා පරපුරක් නිර්මාණය කිරීමට පුළුවන්. මේ ආකාරයට සිසුන්ට අනාගතයේදී බෙහෙවින් වැදගත් වන ප්‍රායෝගික මූල්‍ය දැනුම හා අවබෝධය වර්ධනය කරවීමට අප දීර්ඝ කාලයක් පටන් කටයුතු කරමින් සිටිනවා. මෙම වැඩසටහන සමග එක්වීම එම උත්සාහයේම තවත් වැදගත් ඉදිරි පියවරක්. අපගේ අරමුණ වන්නේ මුදල් ඉපැයීමෙන් නොනැවතී මුදල්වලට නිසි වටිනාකමක් ලබාදෙන්නේ කෙසේද, මුදල් නිසි පරිදි කළමනාකරණය කරගන්නේ කෙසේද සහ නැණවත් ලෙස වියදම් කරන්නේ කෙසේද යනාදිය සිසුන්ට පෙන්වා දීමටයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.


