
ශ්‍රී ලාංකේය දුවා දරුවන් ඉගෙනුමට හා පොතපත කියවීමට නැඹුරු කිරීමත්, ජාතියේ සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමත් ඉලක්ක කරගනිමින් සෙලාන් බැංකුව විසින් දියත් කරන ‘සෙලාන් පැහැසර’ පුස්තකාල ව්‍යාපෘතිය තවත් මං සලකුණකට ළඟා වී තිබේ. ඒ අනුව, සෙලාන් පැහැසර 286 වෙනි පුස්තකාලය විවෘත කිරීම, ඔක්තෝබර් මස 14 වන දින දඹුල්ල තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණි.
‘සෙලාන් පැහැසර’ ව්‍යාපෘතිය ආරම්භයේ පටන්ම ඉලක්ක කොට ගෙන තිබුණේ, 2026 වර්ෂය වන විට සෙලාන් පැහැසර පුස්තකාල 300 ක් විවෘත කිරීමයි. 286 වැනි පුස්තකාලය දඹුල්ල තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කිරීමත් සමගින් එම ඉලක්කය වෙත තවත් පියවරකින් සමීප වීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ද සහයෝගය සමඟින් මේ වන විට සෙලාන් පැහැසර පාසල් පුස්තකාල ව්‍යාපෘතිය අඛණ්ඩව වසර දොළහකට අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සාක්ෂරතාවය වර්ධනය කිරීමත්, ඔවුන් තුළ පොතපතට සහ පොත් කියවීමට ලැදියාවක් ඇති කිරීමත්, පොතපත කියවීමේ මහඟු පුරුද්ද ඉගෙනුමටද පිටිවහලක් කර ගැනීමට සහාය ලබාදීමත්, කියැවීම තුළින් දැනුම්වත් ජාතියක් ගොඩ නැංවීමත් සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවෙහි අරමුණයි. ඒ අනුව පාසල් පුස්තකාල ගොඩනැංවීම හෝ නවීකරණය කිරීමත්, එමෙන්ම අදාළ පාසල් සඳහා අත්‍යවශ්‍ය වන සහ අඩුපාඩුවක්ව පවතින උපාංග සහ සම්පත් ප්රදානය කිරීමත්, අදාළ පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ඉහල නැංවීමත් සෙලාන් බැංකුව විසින් සිදුකරයි.
එසේම සෙලාන් පැහැසර 286 වෙනි පුස්තකාලයේ සඳහා සංකේතාත්මකව පොත් පිරිනැමීමත්, තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලය සඳහා පරිගණක සහ බහු මාධ්‍ය ප්රක්ෂේපණ යන්ත්‍රයක්, පුළුල් තිරයක් ඇතුළු තාක්ෂණික පහසුකම් ද සමගින් ප්‍රධානය කිරීමත් ප්‍රධාන අමුත්තන් අතින් ඉටු වුණි.

“2026 වසර වන විට අංග සම්පූර්ණ පාසල් පුස්තකාල 300 ක් ගොඩනැංවීම, සෙලාන් පැහැසර ප්‍රධානතම ඉලක්කය වනවා. මේ විවෘත කරන සෑම පාසල් පුස්තකාලයක්ම, ඉදිරියට පරම්පරා ගණනාවක් දක්වා ශ්‍රී ලාංකේය දුවා දරුවන් දහස් ගණනකගේ නැණස පාදනු ඇත යන්න අපගේ විශ්වාසයයි. අනාගතය භාර ගැනීමට සිටින අපගේ දරුවන්ගේ කියවීමේ ආශාව වර්ධනය කිරීම, ඔවුන්ව දැනුමෙන් සහ අකල්පයෙන් සන්නද්ධ කිරීම, සහ ඒ ඔස්සේ ඉහළ සාක්ෂරතාවයකින් යුත් අනාගත පරපුරක් බිහි කිරීම අප ඉටු කළ යුතු සමාජ මෙහෙවරක් ලෙස අපි දකිනවා. මෙම ප්රයත්නයන් ඔස්සේ, දැනුමින් සහ යහ ආකල්පයෙන් පොහොසත් ශ්‍රී ලංකාවක් බිහි වනු දැකීම අප සැමගේම ප්‍රාර්ථනාවයි.” යනුවෙන් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ශනුක ජයරත්න මහතා, සෙලාන් පැහැසර 286 වැනි පාසල් පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී.
මේ අතර තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු සෙලාන් පැහැසර ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින්, තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය, ඩබ්. එම්. වත්සලා දීපානි වර්ණකුලසූරිය මහත්මිය මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී. “අපි හෙට දිනයේ වඩාත් යහපත් ලෝකයක් බලාපොරොත්තු වන්නේ නම්, අපි ඒ සඳහා බලාපොරොත්තු තැබිය යුත්තේ අපේ දරුවන් වෙතයි. ඒ වගේම අපගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීමට අපගේ දරු පරපුර පුරුදු පුහුණු කිරීමේ වගකීමත් අප සතුයි. සෙලාන් පැහැසර වැඩසටහන ඔස්සේ නවීකරණය වන මෙම පාසල් පුස්තකාලයත්, අපගේ පාසලට ලබා දුන් පරිගණක, බහුමාධ්‍ය යන්ත්‍ර ඇතුළු නොමසුරු ප්‍රදානයත් වැදගත් වන්නේ ඒ කියූ මෙහෙවර සඳහායි. සෙලාන් පැහැසර වැඩසටහන සඳහා අප හද පත්ලෙන්ම කෘතඥ විය යුත්තේත් ඒ නිසාමයි.”
තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය විවෘත කිරීමට සමගාමීව ‘සෙලාන් පැහැසර සතිය’ ද පැවැත්විණි. ඔක්තෝබර් 08 වන දින ‘සෙලාන් පැහැසර සතිය’ ආරම්භ වූ අතර, පුරා දින පහක් විවිධ වැඩසටහන් සමගින් පැහැසර සතිය දියත් විණි. පැහැසර සතියේ පළමු දිනයේ සිට ළමුන් සඳහා චිත්‍ර තරගයක්, සහ ක්‍රිකට් තරගයක් පැවැත්විණි. පැහැසර සතියේ තෙවන දිනයේදී, අනාගත ව්‍යවසායකයින් බිහිවන පෙර මඟ ලකුණු පෙන්වමින්, පාසැල් දරුවන්ගේ නවෝත්පාදනීය ආහාර නිර්මාණයන්ගෙන් සමන්විත ආහාර ප්‍රදර්ශනයක් ද පැවැත්විණි. එසේම පැහැසර සතියේ සිවුවන දිනයේදී ළමුන්ගේ මෙන්ම දෙමාපියන්ගේද මූල්‍ය කළමනාකරණය ගොඩනැංවීම සඳහා පිටුවහලක් සැපයීම සඳහා, මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් ද පැවැත්විණි. පැහැසර සතිය අවසන් කරමින් පස් වන දිනයේදී පාසල් පුස්තකාලය විවෘත කිරීම සිදුවූ අතර, දිනය අවසානයේ පැවැත්වුණු සම්මාන පිරිනැමීමේ උත්සවයේදී, ‘සෙලාන් පැහැසර සතිය’ පුරාවට සිය දස්කම් ප්‍රදර්ශනය කළ ජයග්රාහකයින්ට සම්මාන සහ සහතිකපත් පිරිනැමීම ද සිදුවිණි.
මෙම 286 වෙනි සෙලාන් පැහැසර පුස්තකාලය විවෘත කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් සෙලාන් බැංකුවේ උතුරු මැද කලාපයේ ප්‍රාදේශීය කළමනාකරු ජනන්ද රත්නායක මහතා සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක, රන්ජිත් සිරිවර්ධන මහතා සහභාගි විණි. එමෙන්ම පාසල නියෝජනය කරමින් එහි විදුහල්පතිනිය, ඩබ්. එම්. වත්සලා දීපානි වර්ණකුලසූරිය මහත්මිය ඇතුළු ගුරුවරුන් සහ දරු දැරියන්ද, සෙලාන් බැංකුව නියෝජනය කරමින් එහි කළමනාකරු (සන්නාම අලෙවිකරණ) විසාකන් ඥානසුන්දරම් මහතා සහ ප්‍රධාන අලෙවි කළමනාකරු නලින් කරුණාරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී විණි.
දිනෙන් දින දියුණු වෙමින් ඉදිරියට යන ලෝකයට මුහුණ දීමට ශ්‍රී ලාංකේය ඉදිරි පරපුර වන අපගේම දුවා දරුවන් දැනුමින් සහ අවබෝධයෙන් සන්නද්ධ කිරීමට අපට ඇති වගකීම සෙලාන් බැංකුව මැනවින් හඳුනාගෙන තිබේ. ඒ අනුව සෙලාන් පැහැසර පාසල් පුස්තකාල වැඩසටහන, 2013 මාර්තු 01 වන දින අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයෙන් ආරම්භ වූ අතර, එතැන් සිට අඛණ්ඩව දිවයින පුරා පාසල් ආවරණය කරමින් මෙම වැඩසටහන අඛණ්ඩව දියත් කරනු ලබයි.


