සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීමේ අරමුණින් අමානා බැංකුව පැවැත්වූ මධ්‍යම පළාත් සම්මන්ත්‍රණය

Pannel Discussion at Drive 2023 Business Forum (LBN)

 



 

 

අමානා බැංකුව පසුගියදා මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂ ව්‍යාපාර සම්මන්ත්‍රණයක් පැවත්වී ය. ‘Drive 2023’ යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයේදී මූලික වශයෙන් අවධානය යොමුකරන ලද්දේ, මෙම ව්‍යාපාරවලට වර්තමානයේ පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ආර්ථිකය නගාසිටුවීමට දායක විය හැකි ආකාරය සම්බන්ධයෙනි.

මධ්‍යම පළාතේ විවිධ මට්ටම්වල ව්‍යාපාර නියෝජනය කරන විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ අතර, අමානා බැංකුවේ කළමනාකාරීත්ව කමිටුවේ සාමාජිකයන් ඇතුළු ප්‍රවීණ වෘත්තිකයන් පිරිසක් විසින් දැනුවත් කිරීම් හා මගපෙන්වීම් සිදුකරන ලදි.

සම්මන්ත්‍රණයේ ආරාධිත දේශනය පැවැත්වූ ප්‍රවීණ දේශක සහ කළමනාකරණ උපදේශක ෆහ්මි ෆාරුක් මහතා, ව්‍යාපාර සඳහා ආර්ථික අභියෝග ජයගනිමින් දියුණුව කරා ගමන් කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කළේ ය. ඉන් අනතුරුව අමානා බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී එම්. එම්. එස්. කුවයිලිද් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් යන මහත්වරු අදහස් දැක්වූහ. සම්මන්ත්‍රණය අවසානයේදී, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රය මුහුණදෙන අභියෝග සහ, එම ක්ෂේත්‍රයේ යහපත උදෙසා අමානා බැංකුව ගෙන ඇති පියවර පැහැදිලි කරන සංවාදයක් පැවැත්විණි. මෙම සංවාදයට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී එම්. එම්. එස්. කුවයිලිද්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවි) සිද්දීක් අක්බාර් සහ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල් යන මහත්වරු සහභාගී වූහ.

මීට අමතරව අමානා බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රධානී අර්ශාඩ් අද්නාන් සහ මහනුවර ශාඛාවේ ව්‍යාපාර ප්‍රධානී අසාම් අමීර් යන මහත්වරුද, මධ්‍යම පළාතේ ශාඛා කළමනාකාරවරුද මෙම සම්මන්ත්‍රණයට එක්වූහ.

“රටේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයයි. එම නිසා මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණු කරමින් එය පෝෂණය කළ යුතුයි. මානුෂ හිතවාදී බැංකුවක් ලෙස අප එම අරමුණ වෙනුවෙන් කැප වී සිටිනවා. එහි තවත් පියවරක්  ලෙස සංවිධානය කළ ‘Drive 2023’ වැඩසටහනේ අරමුණ වූයේ, මෙම ව්‍යාපාරවලට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීමයි. එමෙන්ම එය මේ අභියෝගකාරී කාලපරිච්ඡේදය සාර්ථක ලෙස පසුකරමින්, අනාගතයේ ශක්තිමත් ව්‍යාපාර බවට පත්වීම සඳහා මෙම ව්‍යාපාරවලට අත්වැලක් වීමට අප දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” මෙම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා එලෙස අදහස් දැක්වී ය.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් අමානා බැංකුව විසින් මෑතකදී ‘Amana Bank Business Plus’ නමින් විශේෂ සේවාවක්ද හඳුන්වා දෙන ලදී. මෙය එම ව්‍යාපාර කාණ්ඩය වෙනුවෙන්ම සැලසුම් කළ සේවාවන්වල එකතුවක් සහ ඒ සඳහාම පත්කළ සම්බන්ධීකරණ නිලධාරියෙකු සහිත විශේෂ සේවාවකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මත පැවරෙන මූල්‍යමය පීඩනයන් අවම කරමින්, එම ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකිරීමට අවස්ථාව සලසා දීම මෙහි මූලික අරමුණ වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් මූල්‍ය පහසුකම්, කාරක ප්‍රාග්ධන පහසුකම්, ආනයන හා අපයනය මූල්‍ය පහසුකම්, වෙළඳ සේවාවන්, යන්ත්‍රෝපකරණ කල්බදු සේවාවන්, නිත්‍ය බැංකු අයිරා, චෙක්පත් වට්ටම්කරණ සේවාවන් මෙන්ම මුදල් එකතුකිරීම් සහ ආයෝජන සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් අමානා බැංකුව වෙතින් ලබාගත හැක.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව