සියැට් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ තවත් පාසල් 10කට මාර්ග ආරක්ෂණ කට්ටල

Schools Road Safety Programme 2024 (LBN)

සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2024 වසරේ පළමු මාස තුන තුළ තවත් පාසල් 10 කට මාර්ග සුරක්ෂිතතා කට්ටල ප්‍රදානය කිරීමත් සමඟ පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහන 15 වන වසර දක්වා දීර්ඝ කර ඇත.

නවතම වැඩසටහනින් භාණ්ඩ 3270ක එකතුවක් පාසල් 10ක් තුළ බෙදා දුන් අතර, ප්‍රතිලාභී සෑම පාසලකට ම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 7ක්, රථ වාහන කේතු 10ක්, රථවාහන නියාමක ජැකට් 10ක් සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ පොත් 300ක් ලබා දෙන ලදී.

 



 

සියැට් කැළණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති මෙම පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන සියැට් කැළණි සමාගමේ ‘සියැට් කෙයාර්ස්’ ප්‍රජා ව්‍යාපෘති කළඹ යටතේ සිදු කරනු ලබන ප්‍රජා සත්කාරයකි. ප්‍රධාන මාර්ගවලට ආසන්නව සහ මාර්ග තදබදය අධික ප්‍රදේශ වල පිහිටි පාසල් සඳහා මාර්ග සුරක්ෂිතතා උපකරණ ප්‍රදානය කරමින් සියැට් කැළණි හොල්ඩිංග්ස් සමාගම මහා මාර්ගවල ගමන් කරන පාසැල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම යළිත් විදහා දක්වා ඇත. මෙම කැපී පෙනෙන ප්‍රජා වැඩසටහනට සියැට් සමාගම දීර්ඝකාලීන කැපවීමක් සිදු කර ඇත්තේ සමාගමේ සියලු‍ ම නිෂ්පාදන ද මාර්ග සුරක්ෂිතතාවය හා සම්බන්ධ වන නිසා යැයි සමාගම පවසයි.

මෙවර ප්‍රතිලාභ ලැබූ පාසල් 10 මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, තිහගොඩ කිතලගම නැගෙනහිර කනිෂ්ඨ විද්‍යාලය, පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලය, කිරිල්ලවල මධ්‍ය විද්‍යාලය, මැදවච්චිය සංගිලිකනදරාව මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, වලස්මුල්ල ජාතික පාසල, හොරණ අශෝක විද්‍යාලය සහ  පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය යන පාසල් විය.

සියැට් සමාගම විසින් ‘මග යන මග’ යන ප්‍රජා වැඩසටහන 2010 වසරේ ආරම්භ කළ අතර මේ වන විට එම වැඩසටහනින් දිවයින පුරා පාසල් 290 කට ප්‍රතිලාභ ලබා දී ඇත. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාවට අභියෝග කරමින්, නොසැළකිළිමත් ව සහ මාර්ග නීති රීති නිසි ලෙස නොපිළිපැදීම හේතුවෙන් සිදුවන අනතුරු පිළිබඳ ඉදිරිපත් වූ සංඛ්‍යලේඛනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දියත් කරන ලදි.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු ඉන්ජිනේරු තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට්-කැලණි හෝල්ඩිංග්ස් මේ වන විට ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර, සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද ඉටු කරනු ලබන සියැට් කැළණි සමාගම පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 8.5 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව