සියවසක් සමරන කොමර්ෂල් බැංකුව ගාලූ කොටුවේ පිහිටි ඓතිහාසික බැංකු ශාඛාව ප‍්‍රතිසංස්කරණය කරයි

X1 (1)

කොමර්ෂල් බැංකුවේ සියවස් සමරුවට සමගාමීව සිදුකරන අවසන් වැඩසටහන් අතුරින් එකක් ලෙස බැංකුවේ ගාලූ කොටුවේ ශාඛාව එය මුලින් පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ මේ සතියේදී යළිත් විවෘත කිරීම සිදු කරන ලදී.

ගාලූ කොටුවේ අංක 22, පල්ලිය පාරේ පිහිටි 19 වන සියවසට අයත් මෙම ඉපැරණි ගොඩනැගිල්ල යළිත් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව කොමර්ෂල් බැංකු ශාඛාව නිළ වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

කොමර්ෂල් බැංකුව අයත් ගොඩනැගිලි අතුරින් පැරණිම ගොඩනැගිල්ලක් වන මෙය දකුණු පළාතේ පිහිටි පෞරාණිකම ගොඩනැගිල්ලක්ද වේ. මෙහි මුල්ම අයිතිකරුවා ලෙස සැලකෙන්නේ ජෝර්ජ් හෙන්රි බොගර් මහතායි. මෙම ගොඩනැගිල්ලේ ‘Old Mansion’ නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් තිබූ අතර පසුව මර්කන්ටයිල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා හි (MBI) ගාලූ ශාඛාව පවත්වාගෙන ගොස් තිබුණි. කොමර්ෂල් බැංකුව විසින් 1973 වසරේදී මර්කන්ටයිල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා හි ශාඛා තුනක් පවරා ගැනීමත් සමග මෙම ගොඩනැගිල්ල කොමර්ෂල් බැංකුවට අයත් විය.

 




 

 

පෞරාණික ආකෘතීන් හැකි තරම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීම ගාලූ උරුමය පදනමේ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී. මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු හරිත සංකල්පය යටතේ සිදුකරමින් මෙම ගොඩනැගිල්ලේ සූර්ය විදුලිබල පද්ධතියක්, වැසි වතුර එක් රැස් කිරීමේ පහසුකම්, අපතේ දමන ආහාර ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ පහසුකම්, ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී අයුරින් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් ස්ථාපිත කර තිබෙන අතර ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා අනුමත හරිත අමු ද්‍රව්‍ය යොදාගෙන තිබීම කැපී පෙනේ.

කොමර්ෂල් බැංකුවේ සියවස් සමරුවට සමගාමීව පවත්වන උත්සව අතුරින් එකක් ලෙස මෙම ගොඩනැගිල්ල නැවත විවෘත කිරීමේ උත්සවය දෙසැම්බර් 15 වනදා බැංකුව විසින් සිදුකරන ලදී. මෙම තට්ටු තුනේ ගොඩනැගිල්ලේ පොලොව ලී වලින් නිමකර තිබෙන අතර මෙහි ජනෙල් දොරවල් මගින් පෙර යුගයේ ගෘහ නිර්මාණාත්මක අසිරිය සිරි ගන්වයි. මෙම ගොඩනැගිල්ලේ කොමර්ෂල් බැංකුවේ දකුණු පළාත් කාර්යාලය, කුඩා ශ‍්‍රවණාගාරයක්, බැංකුවේ ඉතිහාසය විදහා දැක්වෙන කුඩා කෞතුකාගාරයක් සහ නිවාඩුගත කිරීමට හැකි බංගලාවක් ද පිහිටා තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඉතිහාසය 1920 තරම් ඈතට දිවයන අතර එහි ආරම්භකයා වූ ඊස්ටන් බෑන්ක් ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ වූයේ එම වසරේදීයි. වර්තමාන කොමර්ෂල් බැංකුව 1969 වසරේදී සංස්ථාපනය කර තිබේ.

කොමර්ෂල් බැංකුවේ සියවස් සැමරුම මෙරට ප‍්‍රධාන ආගම් හතරට මුල් තැන දෙමින් ආගමික උත්සව සිදුකරමින් පැවැත්වූ අතර දිවයිනේ සියළු පළාත් නියෝජනය කරන කොමර්ෂල් බැංකු ශාඛාවල සාමාජිකයින් 4000 කගේ පමණ සහභාගීත්වයෙන් මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සියවස් සැමරුම් වැඩසටහන්ද පැවැත්වීය. මීට අමතරව, බැංකුව සිය සියවස සැමරීමට සමගාමීව 2020 වසරේදී මෙරට පාසැල් 100 ක විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන විෂයන් (STEM) උගන්වන සුහුරු පන්ති කාමර ආරම්භ කිරීම වෙනුවෙන් සහයෝගය ලබාදුන් අතර හෙක්ටයාර් 100 ක නැවත වන වගාවද සිදුකරන ලදී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව