ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතියේ දෙවැනි මධ්‍යස්ථානය මහනුවරදී විවෘත කෙරෙයි

1- SHMA Kandy

ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, බවර් සමාගමට (A. Baur & Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt. Ltd. -SHMA) සිය තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ දෙවැනි මධ්‍යස්ථානය මහනුවර ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පසුගියදා විවෘත කළේය.

 



 

ඉකුත් මාසයේ මාතලේ ආරම්භ කළ පළමු මධ්‍යස්ථානයෙන් අනතුරුව දෙවැනි මධ්‍යස්ථානය මහනුවර ආරම්භ කිරීමේදී වැඩි අයදුම්කරුවන් පිරිසකගේ කැමැත්ත සළකා බැලීම ද විශේෂත්වයකි. තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතිය යනු බවර් සමාගම, සංවර්ධනය සහ සහයෝගීතාව වෙනුවෙන් වූ ස්විස් ආයතනය (Swiss Agency for Development and Cooperation – SDC) එක්ව ක්‍රියාත්මක කරන පෞද්ගලික සහ රාජ්‍ය සහයෝගීතා ව්‍යාපෘතියකි.

මේ අනුව, රත්නපුර, මොනරාගල, කුරුණෑගල සහ මීගමුව ආදී ප්‍රදේශ නියෝජනය කරන සිසුන් 70කට අධික ප්‍රමාණයක් මහනුවර ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය හා එක්ව මෙම පාඨමාලාවට ලියාපදිංචි වී තිබේ. පාඨමාලාවේ දෙවැනි ශිෂ්‍ය කාණ්ඩය 2024 ආරම්භයේ කැඳවීමට ද ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය අපේක්ෂා කරයි.

මහනුවර SSG වැඩසටහනට නායකත්වය ලබාදෙන්නේ ප්‍රවීණ හෝටල් වෘත්තීකයෙකු වන සෑම් රාජමන්ත්‍රී මහතා ය. මහනුවර ප්‍රදේශයේ ප්‍රකට හෝටල් රැසක් මේ වනවිටත් SSG වැඩසටහනට සහාය පළ කර ඇති අතර, ශිෂ්‍යයින්ට ආධුනිකත්ව පුහුණු අවස්ථා සැපයීමට ඉදිරිපත්ව සිටියි. ඒ යටතේ ඇතැම් සිසුන් දැනටමත් සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වී නුදුරේදීම න්‍යායික සහ ප්‍රායෝගික මිශ්‍ර අධ්‍යාපනයේ ප්‍රතිලාභ අත්දැකීමට නියමිත ය.

මීට අමතරව, Hotel Grand Kandyan හි සංවිධානය කරන ලද විශේෂ අධ්‍යයන චාරිකාවකට ද සිසුන් සහභාගී වූ අතර, එහිදී හෝටල් කාර්යමණ්ඩලය අනාගත හෝටල් වෘත්තීකයින් වීම වෙනුවෙන් සිසුන් දිරිගන්වමින් ඔවුන්ට විශේෂ මඟපෙන්වීමක් ද සිදුකළහ. මෙවැනි අතිරේක අධ්‍යයන අවස්ථා හිමිකරදීම මගින් සිසුන්ට හෝටල් පුහුණු අවස්ථාවලටත් පෙර සිටම හෝටල් කර්මාන්තය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

තව ද සිසුන්ට තමන්ට පහසු ආකාරයට පාඨමාලාව හා සම්බන්ධ විය හැකි ආකාරයේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System) ද මහනුවර අධ්‍යයන මධ්‍යස්ථානය සතු අතර, ඒ හරහා සෑම සිසුවෙකුටම නිසි අවධානයක් දැක්වීමටත් ඔවුන් අධීක්ෂණයටත් මඟපෑදේ. එමෙන්ම ආචාර්ය මණ්ඩලයට ද තම දේශන සැපයීමටත්, තම කාර්යයන් කල්තබා පහසුවෙන් කළමනාකරණය කරගැනීමටත් එය ආධාර වේ.

මෙම පාඨමාලාව, ස්විස් වෘත්තීය කුසලතා සංවර්ධන විෂය මාලාව පදනම් කරගනිමින් සකස් කර තිබේ. ඒ අනුව පාඨමාලාවේ 70%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් ද සෙසු 30% න්‍යායාත්මක පාඩම් හරහා ද ආවරණය කෙරේ. ඊට අමතරව, තරු පන්තියේ හෝටල් හා අවන්හල් ආශ්‍රිත සේවාස්ථ පුහුණුවක් ද ඊට ඇතුළත් ය. ජීවන කුසලතා පුහුණු සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ මෘදු කුසලතා සංවර්ධන වැඩමුළු ද පාඨමාලාවට අන්තර්ගත වේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින හෝටල් කර්මාන්ත අධ්‍යාපන මාදිලියට සපුරා වෙනස් අධ්‍යයන මාදිලියක් ලෙස SSG ව්‍යාපෘතිය සුවිශේෂීබවක් උසුළයි. මාස 9ක් පුරා දිවෙන පාඨමාලා කාලයෙන් තුනෙන් දෙකක පමණ කොටසක් සිසුන්ගේ සහ කර්මාන්තයේ සුදුසුකම් සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඔවුන්ට ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීමට වෙන්කෙරේ. පන්ති කාමර ආශ්‍රිත පාඩම්වලදී ද මෘදු කුසලතා සංවර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවීම මෙම පාඨමාලාවේ තවත් විශේෂත්වයකි.

SHMA යනු උසස් ප්‍රමිතියේ හෝටල්කරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබාදෙන අධ්‍යාපන ආයතනයකි. වර්ෂ 1893 සිට ලොව පුරා විවිධ රටවල් 120කට වැඩි ප්‍රමාණයකට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25,000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදී ඇති École hôtelière de Lausanne හි EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලා යටතට ගැනෙන වෘත්තීය අධ්‍යාපන පුහුණු අවස්ථා පිරිනැමීමට SHMA ආයතනයට අවසර හිමිව තිබේ. ඒ අනුව, ඉවුම් පිහුම්, ආහාර පාන සහ හෝටල් මෙහෙයුම් යන අංශ යටතේ එම වෘත්තීය පුහුණු අධ්‍යාපන පහසුකම් සැලසීමට SHMA ආයතනය කටයුතු කරයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව