ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය, තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය නාඋල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී අරඹයි

1- Damitha demonstrating (LBN)

 



 

 

හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් බවර් සමාගමට (A. Baur & Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt. Ltd. -SHMA) මාතලේ නාඋල ජාතික යොවුන් සේනාංකයේ තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ආරම්භ කිරීම පසුගියදා නිවේදනය කළේය.

මාතලේ ප්‍රදේශය අවට හෝටල් රාශියක් පිහිටා තිබීමත්, ප්‍රදේශවාසී සිසුන්ගේ අඩු ආදායම් තත්ත්වයත් සැළකිල්ලට ගනිමින් පළමු මධ්‍යස්ථානය නාඋල ප්‍රදේශයේ විවෘත කිරීමට ද තීරණය විය. ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය පසුගියදා ජාතික යොවුන් සේනාංකය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණු අතර, අදියර කිහිපයක් යටතේ දිවයින පුරා මෙම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත ය.  SSG වැඩසටහන යනු, බවර් සමාගම සහ ස්විට්සර්ලන්තයේ විදෙස් කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වන සංවර්ධනය සහ සහයෝගීතාව වෙනුවෙන් වූ ස්විස් ආයතනය (Swiss Agency for Development and Cooperation – SDC) එක්ව ක්‍රියාත්මක කරන පෞද්ගලික සහ රාජ්‍ය සහයෝගීතා ව්‍යාපෘතියකි.

මේ වනවිට නාඋල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ සිසුන් 54 දෙනෙක් SHMA පාඨමාලාවට අනුයුක්ත වී සිටිති. දමිත අල්විස් මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම පළමු ශිෂ්‍ය කාණ්ඩය පාඨමාලාව ඇරඹීය. ස්විස් වෘත්තීය කුසලතා සංවර්ධන විෂය මාලාව මත පදනම් වූ මෙම පාඨමාලාව යටතේ, මාස තුනක න්‍යායාත්මක දේශන, මාස 1 ½ක මිශ්‍ර ඉගෙනුම් සහ මාස 4 1/2 ක තරු හෝටලයක සේවාස්ථ පුහුණු අවස්ථාවක් සිසුන්ට හිමිවේ. මීට අමතරව පාඨමාලාවට සම්බන්ධවන අවවරප්‍රසාදිත සිසුන්ට හෝටල් ක්ෂේත්‍රය තුළ සාර්ථක වීමට අවශ්‍ය මෘදු ජීවන කුසලතා සංවර්ධනය කරගැනීමට විශේෂිත වැඩමුළු මාලාවක් ද සංවිධානය කෙරේ.

සිසුන්ගේ වෘත්තීය පරිවර්තනයට අවශ්‍ය කණ්ඩායම් සංවර්ධන ක්‍රියාකාරකම් සහ පෞද්ගලික සංවර්ධන ක්‍රියාකාකරම් ඇතුළත් දින 14ක ජීවන කුසලතා පුහුණුවක් ජාතික යොවුන් සේනාංකය මගින් පිරිනැමෙයි. සිසුන්ට තමන්ට පහසු ආකාරයට පාඨමාලාව හා සම්බන්ධ විය හැකි ආකාරයේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System) ද මෙහි අඩංගු අතර, ඒ හරහා සෑම සිසුවෙකුටම නිසි අවධානයක් දැක්වීමටත් ඔවුන් අධීක්ෂණයටත් මඟපෑදේ.

විවිධ හෝටල් රැසක් SSG වැඩසටහනට තම සහාය පළකර තිබේ. ඒ අනුව සිසුන්ට හෝටල්වල ඉගෙනුම් සහ පුහුණු අවස්ථා හිමිකරදීමට එම හෝටල් කැමැත්ත පළකර තිබේ. ‘තිරසර වර්ධනය සඳහා කුසලතා ව්‍යාපෘතිය‘ මගින් 2025 වසර වනවිට මෙරට හෝටල් කර්මාන්තයට 2,240ක තරුණ පුහුණු ශ්‍රම බලකායක් එක් කිරීමට අපේක්ෂා කරන අතර හෝටල් කර්මාන්ත අධ්‍යාපනයට නැඹුරු වන කාන්තා නියෝජනය 40%ක් දක්වා නැංවීමට ද බලාපොරොත්තු වෙයි. මෙම අධ්‍යයන වැඩසටහනෙහි අන්තර්ගතයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් හෝටල් ආශ්‍රිත සේවාස්ථ පුහුණු අවස්ථා වීම ද විශේෂත්වයකි. ඊට ආධුනිකත්ව පුහුණු අවස්ථා ද ඇතුළත්වන අතර ඒ ඒ හෝටල්වලදී එම පුහුණු අවස්ථා දිගු කරගැනීමේ හැකියාව ද පවතියි. මෙය ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන භාවිතාවන් ද අභියෝගයට ලක්කරයි.

SHMA සතු විවිධත්වයෙන් සහ පළපුරුද්දෙන් හෙබි වෘත්තීකයෝ ජාතික යොවුන් සේනාංකවල ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර, දක්ෂ සහ රැකියා විභවතාවෙන් යුතු තරුණ පිරිසක් බිහිකිරීමට දායක වෙති.

SHMA මගින් මෑතක සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව එහි සිසුන්ගෙන් 92.3%කට තමන් දැනට සේවය කරන ආයතනයේ හෝ නව සේවා ආයතනයක රැකියාවේ උසස් වීමක් ලබාගෙන ඇති අතර, සිසුන්ගෙන් 75%කට වැඩි පිරිසක් තරු පහේ සංචාරක හෝටල්වල සේවය කරති. තව ද බොහෝ සිසුන්ට තම ආදායමේ සුවිශේෂී වර්ධනයක් අත්කරගැනීමට ද අවස්ථාව උදා වී තිබේ.

SHMA යනු උසස් ප්‍රමිතියේ හෝටල්කරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබාදෙන අධ්‍යාපන ආයතනයකි. වර්ෂ 1893 සිට ලොව පුරා විවිධ රටවල් 120කට වැඩි ප්‍රමාණයකට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25,000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදී ඇති École hôtelière de Lausanne හි EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලා යටතට ගැනෙන වෘත්තීය අධ්‍යාපන පුහුණු අවස්ථා පිරිනැමීමට SHMA ආයතනයට අවසර හිමිව තිබේ. ඒ අනුව, ඉවුම් පිහුම්, ආහාර පාන සහ හෝටල් මෙහෙයුම් යන අංශ යටතේ එම වෘත්තීය පුහුණු අධ්‍යාපන පහසුකම් සැලසීමට SHMA ආයතනය කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව