ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් COVID-19 පාලනයට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Photograph - Red Cross

 




 

 

24 August 2021, Colombo, Sri Lanka – ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව පසුගියදා ඇමරිකානු ඩොලර් 116,500 ක (රු. මිලියන 23.6 ක් පමණ) වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 පාලනය කිරීමේ ජාතික උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.

මෙම ප්‍රදානය කොටස් දෙකකින් සමන්විත විය. මුල් අදියර යටතේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත ඇමරිකානු ඩොලර් 75,000 ක මුදලක් පරිත්‍යාග කරන ලදි. එමගින් දැඩි සත්කාර ඒකක වල භාවිතා කරනු ලබන වෙන්ටිලේටර් යන්ත්‍ර 3 ක් සමග පල්ස් ඔක්සිමීටර් සහ නෙබියුලයිසර් ඇතුළු උපකරණ මිලදීගනු ලබන අතර, එම උපකරණ ජාතික රෝහල ඇතුළුව බස්නාහිර පළාතේ රෝහල් වල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඇමරිකානු ඩොලර් 41,500 ක වටිනාකමකින් යුත් ඔක්සිජන් සාන්ද්‍රකරණ උපකරණ 25 ක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමටද ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව කටයුතු කළේ ය. මෙරට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා විසින්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා වෙත අදාළ ප්‍රදානය සංකේතීයව පිරිනමන ලද අතර, එම අවස්ථාවට අදාළ රාජ්‍ය අමාත්‍යාංශය, රතුකුරුස සමාජය සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව නියෝජනය කරන තවත් නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

“කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ කාලයේ සිටම, රට තුළ එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත් උත්සාහයන්ට විවිධාකාරයෙන් දායක වීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා කටයුතු කර තිබෙනවා. වගකීම් සහගත සමාගමක් ලෙස ඉදිරියටත් COVID-19 සහන වැඩසටහන් වලට දායක වන අතරම, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්වැලක් වෙමින්, වඩාත් ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීම අපගේ අරමුණයි.” මෙරට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා පැවසී ය.

පසුගිය වසරේ හඳුන්වා දුන් COVID-19 ගෝලීය පුණ්‍ය අරමුදල හරහා මීට පෙරද ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට ඇමරිකානු ඩොලර් 500,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් කටයුතු කළේ ය. COVID-19 පරීක්ෂණ කට්ටල 13,000 ක් මිලදී ගැනීම සඳහා මෙන්ම සහන සේවාවන්, COVID-19 ආරක්ෂක විධිවිධාන සහ, COVID-19 සම්බන්ධ සාවද්‍ය තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සඳහා එම මුදල් භාවිතා කරන ලදි.

“Here for good’ යන අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව, දැනට පවතින වසංගත තත්ත්වය හමුවේ ජනතාවත් රටත් ආරක්ෂා කරගැනීමට දරන උත්සාහයන්ට දායක වීම අපට ඉතාමත් වැදගත්. ඒ සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් රාශියකට අත්වැලක් වීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.” මෙරට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ආයතනික කටයුතු, සන්නාම හා අලෙවිකරණ ප්‍රධානී අනුක් ද සිල්වා මහතා පැවසී ය.

ලාභ අරමුණු කර නොගත් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ව්‍යාපෘතියක් තුළින්, COVID-19 මර්දනයට අත්‍යවශ්‍ය වන උපකරණ නිපදවන සමාගම් සඳහා අත්වැලක් වීමටද ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමූහය කටයුතු කර තිබේ. මේ වනවිට මෙම ව්‍යාපෘතිය මගින්, රට තුළ භාවිතය සඳහා මෙන්ම අපනයනය සඳහා මුහුණු ආවරණ සහ අත්වැසුම් වැනි ආරක්ෂක උපාංග නිපදවන සමාගම් වලට ඇමරිකානු ඩොලර් මිලියන 45 ක් දක්වා අරමුදල් සපයා ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව