
2025 අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, සම්පත් බැංකුව දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස එහි කාණ්ඩ අංක 01 යටතේ වර්ගීකරණය කරන ලදී. රට තුළ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සම්පත් බැංකුව දක්වන දායකත්වය මෙමගින් මනාව පිළිබිඹු වේ.
සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 13.4 ක්ද, බදු පසු ලාභය රුපියල් බිලියන 8.3 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය 2024 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී පිළිවෙළින් 115% ක හා 149% ක වර්ධනයකි. මීට අමතරව සම්පත් සමූහය ද රුපියල් බිලියන 14.3 ක බදු පෙර ලාභයක් ද රුපියල් බිලියන 8.9 ක බදු පසු ලාභයක් ද වාර්තා කරන ලද අතර මෙය පිළිවෙළින් 107% ක හා 135% ක වර්ධනයකි.
2025 මාර්තු 31 දිනට බැංකුව වාර්තා කරන ලද විශේෂ මූල්‍ය ප්‍රතිඵල
- මුළු තැන්පතු කළඹ රුපියල් බිලියන 76.6 කින් වර්ධනය වීම.
- ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 6% කින් වර්ධනය වීම.
- අපහායන අයකිරීම 102% කින් පහත වැටීම.
- ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 3.02 කින් අවප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 1.2 ක විනිමය ලාභයක් වාර්තා කිරීම.
- භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් විකිණීමෙන් රුපියල් බිලියන 2.7 ක ලාභයක් වාර්තා කිරීම.
- වෙළඳපොළ පොළී අනුපාතයන් පහත වැටීම හේතුවෙන් ශුද්ධ පොළී ආදායම (NII) 6% කින් පහත වැටීම.
- පළමු පෙළ හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන් පිළිවෙළින් 16.51% හා 20.30% ක් ලෙස වාර්තා වීම.
සලකනු ලබන කාල පරිච්ඡේදය සඳහා මුළු පොළී ආදායම රුපියල් බිලියන 44 ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 10% ක පහත වැටීමකි. මේ සඳහා සලකනු ලබන කාලපරිච්ඡේදය තුළදී අවදානම් මත බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පහත වැටීම හා රජයේ සුරැකුම්පත්වල පොළී අනුපාත පහත වැටීම මූලික වශයෙන් හේතු විය. තවද වෙළඳපොළ පොළී අනුපාතයන් පහත වැටීම හේතුවෙන් බැංකුවේ පොළී වියදම ද 12% ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 24.9 ක් ලෙස වාර්තා විය.
බැංකුවේ ශුද්ධ පොළී ආදායම පළමු කාර්තුව අවසානයේ දී රුපියල් බිලියන 19.1 ක් ලෙස වාර්තා වූ අතර, මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 6% ක පහත වැටීමකි. එසේම ශුද්ධ පොළී ආන්තිකය 2024 වසරේ වාර්තා වූ 4.90% සිට 2025 වසරේ පළමු කාර්තුව අවසානයේ දී 4.32% දක්වා පදනම් ලකුණු 58 කින් පහත වැටිණ.
2025 වසරේ පළමු කාර්තුව තුළදී සම්පත් බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම ශක්තිමත් ලෙස ඉහළ ගිය අතර, එය පසුගිය වසරේ අනුරූප කාලසීමාවේදී වාර්තා වූ රුපියල් බිලියන 0.7 සිට රුපියල් බිලියන 8.8 ක් දක්වා ඉහළ යන ලදී. කාඩ්පත්, ණය හා වෙළඳාම් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ලද ආදායම් ඉහළ යාම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 6% කින් ඉහළ යන ලදී.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 3.02 කින් අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 4.3 ක විනිමය අලාභයට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 1.2 ක මුළු විනිමය ලාභයක් වාර්තා කිරීමට බැංකුවට හැකි විය. තවද, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම මගින් රුපියල් බිලියන 2.7 ක මූල්‍ය ලාභයක් වාර්තා කරන ලද අතර මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 582% ක වර්ධනයකි.
2025 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් මිලියන 81.8 ක අපහායන ආපසු හැරවීමක් වාර්තා කරන ලද අතර, මෙය පෙර වසරේ අනූරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී රුපියල් බිලියන 4.5 ක පහත වැටීමකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් මිලියන 53.4 ක ආපසු හැරවීමකින්ද, (1Q 2024 – රුපියල් බිලියන 2.4 අයකිරීමක්), වෙනත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 0.4 ක අයකිරීමකින්ද (1Q 2024 – රුපියල් බිලියන 0.9), අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 0.5 ක ආපසු හැරවීමකින්ද, (1Q 2024 – රුපියල් බිලියන 1.1 ක අයකිරීමක්) සමන්විත විය.
සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව රුපියල් බිලියන 2.3 ක වර්ධනයක් වාර්තා කරන ලද අතර මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හේතුවෙන් ඉහළ ගිය පුද්ගල පිරිවැය මූලික වශයෙන් හේතු විය.
මීට අමතරව මුළු බදු වියදම 2024 වසරේ පළමු කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 5.0 සිට 2025 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 8.8 ක් දක්වා 78% කින් ඉහළ යන ලද අතර, මේ සඳහා බදු අය කිරීමට යටත් වූ ආදායමේ ඉහළ යාම මූලික වශයෙන් හේතු විය.
වර්ෂය පුරාවට සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවයන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. 2025 මාර්තු 31 වන දිනට පළමු පෙළ සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙළින් 16.51%, 16.51% හා 20.30% ක් ලෙස වාර්තා කරන ලදී.
2025 පළමු කාර්තුව තුළදී කෙටිකාලීන මූල්‍ය උපකරණවල කරන ලද අයෝජන ඉහළ යාම හේතුවෙන් සම්පත් බැංකුවේ මුළු වත්කම් 5% ක වර්ධනයක් සහිතව 2024 දෙසැම්බර් 31 දිනට පැවැති රුපියල් ට්‍රිලියන 1.78 සිට 2025 පළමු කාර්තුව අවසානය වනවිට රුපියල් ට්‍රිලියන 1.86 ක් දක්වා ඉහළ යන ලදී. තවද තැන්පතු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බැංකුවේ මුළු වගකීම් 2024 වසර අවසානයට වාර්තා වූ රුපියල් ට්‍රිලියන 1.61 සිට 2025 මාර්තු 31 දින වනවිට රුපියල් ට්‍රිලියන 1.70 ක් දක්වා 6% කින් ඉහළ යන ලදී.