සම්පත් බැංකුව 2024 වර්ෂයේ පළමු අර්ධය සඳහා 45% ක වර්ධනයක් සහිතව බදු පසු ලාභය රුපියල් බිලියන 11 ක් වාර්තා කරයි

Ms. AYODHYA IDDAWELA PERERA (LBN)

සම්පත් බැංකුව පසුගිය වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 40% ක හා 45% ක වර්ධන වේගයක් සහිතව බදු පෙර ලාභය රු. බිලියන 18.5 ක් හා බදු පසු ලාභය රු. බිලියන 11.1 ක් වාර්තා කරන ලදී. සම්පත් සමූහය ද බදු පෙර ලාභය රු. බිලියන 19.7 ක්ද, බදු පසු ලාභය රු. බිලියන 11.9 ක්ද වාර්තා කරන ලද අතර මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 47% ක හා 55% ක වර්ධනයකි.

 



 

2024 වසරේ පළමු අර්ධය සඳහා විශේෂ මුල්‍ය ප්‍රතිඵල

  • ශුද්ධ පොළී ආදායම 20.3% කින් ඉහළ යාම
  • වෙළඳාම් ආශ්‍රිත ආදායම් පහත වැටීම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 10.9% කින් පහත වැටීම
  • ඇ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල රු. 17.85 කින් අතිප්‍රමාණය වීම හේතුවෙන් රු. බිලියන 2.7 ක විනිමය අලාභයක් වාර්තා වීම
  • අපහායන අයකිරීම්6% කින් පහත වැටීම.
  • දේශීය මුදලින් අගය කරනු ලබන ණය කළඹ රු බිලියන 33 කින් ඉහළ යාම.
  • දේශීය මුදල් තැන්පතු ප්‍රමාණය රු බිලියන 115 කින් ශක්තිමත් ලෙස ඉහළ යාම.
  • පළමු පෙළ හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන් පිළිවෙළින් 16.98% ක් හා 19.96% ක් ලෙස අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම

2024 පළමු අර්ධය සඳහා බැංකුව රු. බිලියන 95ක මුළු පොළී ආදායමක් වාර්තා කරන ලද අතර එය පෙර වසරේ පළමු අර්ධය හා සැසඳීමේ දී 5.7% ක පහත වැටීමකි. මේ සඳහා කාලපරිච්ඡේදය තුළ දී සාමාන‍්‍ය‍‍‍ බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) හි සිදුවූ පහත වැටීම හේතු විය. වෙළඳපොළ පොළී අනුපාතයන් අඛණ්ඩව පහත වැටීමට සමගාමීව පොළී වියදමද පහත වැටීම සිදුවූ අතර 2023 වසරේ පළමු අර්ධයේ රු. බිලියන 67ක් වූ පොළී වියදම 2024 වසරේ පළමු අර්ධය සඳහා රු. බිලියන 54 ක් දක්වා පහත වැටිණ.  පොළී ආදායම අඩුවීම අභිබවා පොළී වියදම් අඩුවීම හේතුවෙන් ශුද්ධ පොළී ආදායම පෙර වසරේ පළමු අර්ධය හා සැසඳීමේ දී 20.3% ක වර්ධනයක් සහිතව 2024 වසරේ පළමු අර්ධය අවසානයේ දී රු. බිලියන 41 ක් ලෙස වාර්තා කරන ලදී. පොළී අනුපාත පහත වැටීම මධ්‍යයේ වුවද බැංකුවේ වත්කම් හා වගකීම් උපායමාර්ගිකව කළමනාකරණය කිරීම මෙම ශුද්ධ පොළී ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතු විය. තවද බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය 2023 වසරේ දෙසැම්බර් 31 දිනට වාර්තා කරන ලද 5.16% සිට 2024 ජුනි 30 දින වනවිට 5.18% ක් දක්වා වර්ධනය විය.

2024 පළමු අර්ධයේ දී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම් පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 11% ක පහත වැටීමක් සහිතව රු. බිලියන 8.7 ක් ලෙස වාර්තා වූ අතර මීට මූලිකවම වෙළඳාම් ආශ්‍රිත ආදායම් පහත වැටීම හේතු විය.  මේ සඳහා ආනයන ගණුදෙනු ආශ්‍රිත කොමිස් අනුපාතයන් පහළ දැමීම හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අතිප්‍රමාණය වීම යනාදී කරුණු හේතු විය. කෙසේ වෙතත් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී ණය, විද්‍යුත් නාලිකා, කාඩ්පත් හා ප්‍රේෂණ ආශ්‍රිත ආදායම්හි වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

බැංකුව 2024 වසරේ පළමු අර්ධය සඳහා රු. බිලියන 6.2 ක අපහායන අයකිරීමක් හඳුනා ගන්නා ලද අතර මෙය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 14.6% ක පහත වැටීමකි. ඉහත අපහායන  අයකිරීම් ණය හා අත්තිකාරම් සඳහා රු. බිලියන 3.7 ක්ද (2023 වසරේ පළමු අර්ධය සඳහා – රු. බිලියන 8.7) වෙනත් මූල්‍ය උපකරණ සඳහා රු. බිලියන 1.0 ක්ද (2023 වසරේ පළමු අර්ධය සඳහා – රු. බිලියන 1.4 ක නැවත හැරවීමක්) අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රු. බිලියන 1.5 (2023 වසරේ පළමු අර්ධය සඳහා – රු මිලියන 66 ක නැවත හැරවීමක් ) කින් ද සමන්විත විය.

සලකනු ලබන කාලපරිච්ඡේදය තුළදී ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 58% කින් අඩු විය. මේ සඳහා පෙර වසර වලදී භාවිත කරන ලද විචක්ෂණශීලී ප්‍රතිපාදන ප්‍රතිපත්තිය, ආර්ථිකයේ ඇති වූ පුනර්ජීවනය හේතුවෙන් ගණුදෙනුකරුවන්ගේ ණය නැවත ගෙවීමේ හැකියාව ඉහළ යාම ආදිය මූලිකවම හේතු විය.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා හඳුනා ගන්නා ලද අතිරේක අපහායන අයකිරීම් හේතුවෙන් 2024 වසරේ පළමු අර්ධය තුළදී අනෙකුත් මූල්‍ය උපකරණ සඳහා රු. බිලියන 1.0 ක ශුද්ධ අපහායන අය කිරීමක් හඳුනා ගන්නා ලදී.

2024 වසරේ පළමු අර්ධය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 11.2% ක වර්ධනයක් වාර්තා කරන ලද අතර මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හේතුවෙන් ඉහළ ගිය පුද්ගල පිරිවැය මුලික වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුවේ සඵල බදු අනුපාතය 2023 වසරේ පළමු අර්ධයේදී පැවති 55.9% සිට 2024 වසරේ පළමු අර්ධය අවසානය වන විට 53.8%ක් දක්වා පහත යන ලදී.

බැංකුවේ සාමාන්‍ය කොටස් හිමි ප්‍රාග්ධනය මත ඉපයුම් (බදු පසු) 2023 වසර අවසානයේ පැවති 12.7% සිට 2024 ජුනි 30 දින වන විට 14.9% ක් දක්වා ඉහළ යන ලද අතර, සාමාන්‍ය වත්කම් මත ඉපයුම් (බදු පෙර)  2023 වසර අවසානයේ වාර්තා වූ 2.1 % ට සාපේක්ෂව 2024 ජුනි 30 දිනට 2.3% ක් දක්වා ඉහළ යන ලදි.

සලකනු ලබන කාලපරිච්ඡේදය පුරාවට සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාම අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑමට බැංකුව සමත් විය. පළමු පෙළ සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය 2023 වසර අවසානයේ දී වාර්තා කළ 16.35%, 16.35%, හා 19.56% ට සාපේක්ෂව 2024 වසරේ ජුනි 30 දින වනවිට පිළි‍වෙළින් 16.98%, 16.98% හා 19.96% ක් ලෙස වාර්තා කරන ලදී.

එමෙන්ම බැංකුවේ ද්‍රවශීලතා අනුපාතයන් ද අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතුණු අතර සියලුම මූල්‍ය ඒකක සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාතය 2023 වසර අවසානයේ පැවති 312.47% ට සාපේක්ෂව 2024 ජුනි 30 දින වන විට 299.48% ක් ලෙස ද ශුද්ධ ස්ථාවර මුල්‍යන අනුපාතය 2023 වසර අවසානයේ පැවති 184.20% ට සාපේක්ෂව 2024 ජුනි 30 දින වන විට 195.48% ක් දක්වා ද වර්ධනය විය.

සම්පත් බැංකුව සතු මුළු වත්කම් 12.9% ක වාර්ෂික වර්ධනයක් සහිතව 2024 ජුනි 30 දින වන විට රු ට්‍රිලියන 1.64 ක් ලෙස වාර්තා විය. මේ සඳහා රජයේ ණය සුරැකුම්පත් මත බැංකුවේ ආයෝජන හා ණය කළඹේ විස්තාරණය වීම මූලික වශයෙන් හේතු විය.  මීට අමතරව මුළු තැන්පතු කළඹ රු. බිලියන 89 කින් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ මුළු වගකීම් ද 13.5% ක වාර්ෂික වර්ධන වේගයක් සහිතව 2024 ජුනි 30 දින වන විට රු බිලියන 1,353.2 ක් ලෙස වාර්තා විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව