සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ ජාතික මෙහෙවරෙහි තවත් එක් ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් එකම දිනයක වැව් ද්විත්වයක් ජීවය ලබයි

Picture2 (LBN)

 



 

 

අතීතයේ සිට ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවනෝපාය හා බැඳුණු වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ සුවහසක් ජනතාවගේ කුසගිනි නිවූ කෘෂිකර්මාන්තයේ හෙට දවස ද අභියෝගයට ලක් කරමිනි. මේ බව මනාව අවබෝධ කරගත් සම්පත් බැංකුව කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේ අනාගතයේත් අභිවෘද්ධිය උදෙසා අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ විශිෂ්ට සමාජ සත්කාරයක් ලෙස “වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ කරන ලද්දේ මීට දශක දෙකකට පමණ පෙර ය. එතැන් සිට අද දක්වා එයින් ජීවය ලද වාරි ව්‍යාපෘති රැසක් කෙත් වතු සරු කරමින් ගොවි ජනතාවට පැහැබර හෙට දිනක් උදා කර දීමට සමත්ව සිටී. ඒ අර්ථයෙන්ම සම්පත් බැංකුවේ වැවට ජීවයක් තුළින් ජීවය ලද තවත් වාරි ව්‍යාපෘති දෙකක උරුමය ගොවි ජනතාව වෙත හිමිකර දීමට පසුගියදා සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය.

රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් එසේ ජනතාවට පවරා දෙනු ලැබුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නොච්චියාගම, නැලවගම වැව හා තලාව, කුඩාගම වැවයි. වැව් බැඳි රාජ්‍යය ලෙස විරුදාවලිය ලත් රජරට ප්‍රදේශයේ අක්කර සිය ගණනක් වූ කෙත්වතු පෝෂණය කරමින් රටටම බත සපයන්නට සුවිසල් දායකත්වයක් ලබා දුන් තලාව කුඩාගම වැව කාලයක් තිස්සේ අබලන්ව පැවතියේ ගොවි ජනතාවගේ හෙට දවසද අනතුරේ හෙලමිනි. තමන් මෙතෙක් මුහුණ දුන් දුෂ්කරතාවයන්ට තව දුරටත් මුහුණ දීමට නොහැකි නිසාම තිරප්පනේ 401 එකමුතු ගොවි සංවිධානය වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සම්පත් බැංකුව වෙත ඉල්ලීමක් සිදු කරනු ලැබීය. ගොවීන්ගේ අවශ්‍යතාව මනාව අවබෝධ කරගත් සම්පත් බැංකුව ඔවුන්ගේ ඉල්ලීම පිළිගනිමින් කුඩාගම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී දැඩි ලෙස අබලන්ව පැවති කුඩාගම වැවෙහි සොරොව්ව සහ පිටවාන ද ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළ සම්පත් බැංකුව, වැවෙහි ජලය පිටතට කාන්දු වෙමින් මහා විනාශයකට සූදානම් වෙමින් පැවති වැව් බැම්මද ප්‍රතිසංස්කරණය කිරීමට ද කටයුතු කරනු ලැබීය. එපමණක්ද නොව වැවෙන් කෙත් බිම් වෙත නිසි ආකාරයෙන් ජලය ගෙන යාම සඳහා අවශ්‍ය ඇල මාර්ග පද්ධතිය විධිමත්ව සකස් කිරීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ලැබුවේ පරිපූර්ණ වාරි පද්ධතියක උරුමය තිරප්පනේ ගොවි ජනතාවට හිමි කර දෙමිනි.

මීට පෙරද ‘වැවට ජීවයක්’සමාජ සත්කාරක වැඩසටහන තුළින් ප්‍රතිසංස්කරණයට ලක් වූ නොච්චියාගම නැලවගම වැව තවත් චිරාත් කාලයක් නොනැසී පවතිනු වස් අංග සම්පූර්ණ සම්පතක් බවට පත් කිරීම උදෙසා ගොවි ජනතාවගේ ඉල්ලීම මත පැවති අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් යළිත් වරක් ප්‍රතිසංස්කරණය කිරීමට සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය.

2020 වසරේදී ඉතා අබලන්ව පැවති සොරොව්ව ප්‍රතිසංස්කරණය කරමින් ගොවිතැන සරු කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දුන් නොච්චියාගම නැලවගම වැව මෙවර යළිත්  ‘වැවට ජීවයක්’ තුළින් ජීවය ලැබුවේ කෙත් බිම්වලට ජලය ගෙන යන වාරි පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයට ලක් කරමිනි. එතෙක් ඉතා අපහසුවෙන් කුඹුරු අස්වැද්දූ ගොවි ජනතාව පළමු ප්‍රතිසංස්කරණයෙන් පසු යල – මහ දෙකන්නයම රිසි සේ අස්වැද්දුවේ තමන්ගේ අටු කොටු පුරවා ගනිමිනි. සොරොව්ව ප්‍රතිසංස්කරණය වුවද වැවෙන් කෙත් බිම්වලට ජලය ගලා යන ඇල පද්ධතිය මෙන්ම වේලි දොරවල් අබලන් තත්වයේ පැවතීම ගොවීන්ට තවත් දුෂ්කරතාවයක් බවට පත් විය. ඒ නිසාම පළමු වර සිය ඉල්ලීමට කන් දෙමින් තමන්ගේ අවශ්‍යතාවය ඉතා හොඳින් ඉටු කර දුන් සම්පත් බැංකුව වෙතින් ඇල පද්ධතිය හා වේලි දොරවල් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටියේ නැලවගම ජයබිම ගොවි සංවිධානයයි. ගොවි සංවිධානයේ ඉල්ලීම එලෙසින්ම භාරගත් සම්පත් බැංකුව ඔවුන්ගේ අවශ්‍යතාව හැකි ඉක්මණින් ඉටු කර දීමට කටයුතු කරනු ලැබුවේ පරිපූර්ණ වාරි පද්ධතියක් නොච්චියාගම ගොවි ජනතාවට ලබා දීමේ අරමුණෙන් යුතුවය.

නොච්චියාගම නැලවගම වැවෙන් පෝෂණය වන අක්කර 210ක් පුරා විහිදී ඇති කුඹුරු පද්ධතිය තුළින් සිය ජීවිකාව සකසා ගන්නා පවුල් සංඛ්‍යාව 150කට අධිකය. ගොවි පවුල් 115කගේ පමණ ජීවිකාව සරිකරන අක්කර 45ක් පුරා විහිදුණු කෙත් බිම පෝෂණය කරන තිරප්පනේ කුඩාගම වැව අවට ගම්මාන තුනක පවුල් 500කට අධික පිරිසක් වෙත ජල පහසුකම් සලසන ජල ව්‍යාපෘතියකින්ද සමන්විත වේ. මෙම වැව් ප්‍රතිසංස්කරණය මඟින් හුදෙක් කෘෂි කර්මාන්තය නඟා සිටුවීම පමණක් නොව සියලු දෙනාට ජල අවශ්‍යතාවන් පහසුවෙන් ඉටු කර ගැනීමේ අවස්ථාව උදා වීමද විශේෂත්වයකි. සම්පත් බැංකුව විසින් මෙම වැවට ජීවයක් සමාජ සත්කාරය ක්‍රියාත්මක කිරීමේදී එම වැව පිහිටා ඇති ප්‍රදේශය භාර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන අතර අනෙකුත් රාජ්‍ය ආයතනයන්ද ඊට නන් අයුරින් උපකාර කරනු ලබයි. මෙම වැව් ප්‍රතිසංස්කරණයේදීද එම ආයතනයන් විසින් ඒ ආකාරයෙන්ම සහයෝගය ලබා දුන් අතර වැව් ගොවි ජනතාව වෙත භාර දුන් අවස්ථාවේදීද එම ආයතන නිලධාරීන් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණ හා පාරිභෝගික සබඳතා – තාරක රන්වල  මහතා සඳහන් කර සිටියේ “ රජ කාලයේ පටන් මෙරට කෘෂිකර්මාන්තය නොසැලී පවතින රජරට ප්‍රදේශයේ ගොවි ජනතාව තව දුරටත් ආරක්ෂා කර ගැනීම හා ඔවුන්ගේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම අපි සියලු දෙනාගේ යුතුකමක් ලෙස මම දකිනවා. බැංකුකරණ සේවාවන්ගෙන් ඔබ්බට යමින් මෙරට කෘෂිකර්මාන්තයේ මෙන්ම ගොවි ජනතාවගේ හෙට දවස වෙනුවෙන් අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන තුළින් පරිපූර්ණ වාරි පද්ධතියක් ගොවි ජනතාව වෙත උරුම කර දීමට කටයුතු කර තිබෙනවා. අද දින ඒ ආකාරයෙන් ප්‍රතිසංස්කරණයට ලක් වූ නොච්චියාගම නැලවගම වැව හා තලාව, කුඩාගම වැව ඒ ප්‍රදේශයන්හි ගොවි ජනතාව වෙත භාර කිරීමට අපි කටයුතු කළා. ඒ තුළින් හෙට දවසේ කිසිඳු ගැටළුවකින් තොරව තමන්ගේ වගා කටයුතු සිදු කර ගැනීමට මෙන්ම ඒ තූලින් ගොවි ජනතාවගේ ආර්ථික සමෘද්ධිය සළසා ගැනීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වෙනුවෙන් සහයෝගය ලබා දුන් ගොවි සංවිධානයන්ට,ගොවි ජනතාවට මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මාගේ ස්තුතිය මේ මොහොතේ පුද කිරීමට කැමතියි.’‘ යනුවෙනි.

‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන සම්පත් බැංකුවේ ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන අතර ඒ තුළින් මේ වන විට ජීවය ලබා ගොවි ජනතාව වෙත භාර දී ඇති වැව් ප්‍රමාණය 14ක් වන අතර 15 වන හා 16 වන ව්‍යාපෘතීන් ලෙස ජීවය ලබන දඹාන දැලිකැදලි වැවත්, නාගොල්ලාගම රත්මලේ වැවත් නුදුරේදීම එම ප්‍රදේශයන්හි ගොවි ජනතාව වෙත භාර දෙනු ඇත. 2022 වසරේ SLIM වෙළෙඳනාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආයතනික සමාජ වගකීම් සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකුවට හැකි වූයේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. මීට අවුරුදු 20කට පමණ පෙර රට පුරා අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාව වෙත ලබා දීමටත් ඒ තුළින් රට තුළ කෘෂිකර්මාන්තය නඟා සිටුවමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උදාකර දීමත් වෙනුවෙන් සම්පත් බැංකුවේ  ‘වැවට ජීවයක් වැඩසටහන ආරම්භ කරන ලදී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව