ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Uber, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමකට

UBER

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් Uber සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදී. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට Uber සමාගම කටයුතු කිරීමට නියමිතව තිබේ. Covid-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය උදෙසා සහය වීම මෙම හවුල්කාරිත්වයේ අරමුණ වේ.

 




 

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය විසින් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම දිරිමත් කිරීම සඳහා ඉන්දියාවේ තෝරාගත් නගර ආශ්‍රිතව ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් සංවිධානය කිරීමට තීරණය කර තිබේ. මෙම හවුල්කාරීතවයේ තවත් එක් අංගයක් ලෙස Uber සමාගම, තම යෙදවුම භාවිතයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ප්‍රනීත ආහාරපාන ඉන්දියාව පුරා විසිරී සිටින Uber පාරිභෝගික ප්‍රජාව අතර ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටී. Uber යෙදවුම භාවිතයෙන් සංචාරකයින්ට ආරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ අවස්ථාව සලසා ඇති අතරම, විශේෂ ප්‍රවර්ධන කේතයන් (Special Promo Codes) භාවිතයෙන් Uber Eats හරහා පහසුවෙන්ම ආහාරපාන සහ සිල්ලර භාණ්ඩ ඇනවුම් කිරීම හා බෙදා හැරීම සිදුකරගත හැකිය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, Uber සමාගමේ සම – ප්‍රවර්ධනය ද සමගින් ඉන්දියානු පුරවැසියන් වෙනුවෙන් තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටී. එමඟින් තෝරාගන්නා ලද ජයග්‍රාහකයින් පස් දෙනෙකුට සියලුම වියදම් සහිතව ශ්‍රී ලංකාවේ රාත්‍රී දින 3ක් ඇතුළු දින 4 ක සංචාරක අවස්ථාවක් දිනා ගැනීමේ හැකියාව සලසා දී තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු පවසා සිටියේ, සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවන් මෙන්ම  බලාපොරොත්තු ද උදාකර දෙන ක්ෂේත්‍රයක් වන අතර, මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ ඉදිරි මාස කිහිපය තුළ ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන වැඩසටහන් මගින් ශ්‍රී ලංකාව කෙරෙහි පවතින සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවයි. එසේම, මනරම් භූ දර්ශන සහ රස නහර පිනා යන ආහාරපානාදිය හැරුණු විට, සෘජු-ගුවන් ගමන් සේවා, ගුණාත්මක තත්වයේ පවතින දුම්රිය ජාලයක් ආදී ගමනාගමන විකල්ප‍යන් වෙත පහසුවෙන්ම ප්‍රවේශ විය හැකි සංචාරක ගමනාන්තයන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත්‍ ය. Uber වැනි ගෝලීය සමාගමකට, සිය පාරිභෝගිකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කළ හැකි අතරම, සංචාරකයින් මෙරටට පැමිණෙන විට ඔවුන්ට සිය කැමැත්ත පරිදි සංචාරක ගමනාන්තයන් තෝරා ගැනීම සිදුකර ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී සිය අදහස් දැක්වූ Uber Mobility – Sri Lanka හි දේශීය කළමනාකාරිනී කෞශල්‍යා ගුණරත්න පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය උදෙසා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයට දායකත්වය දැක්වීමට ලැබීම ගැන බොහෝ සතුටට පත්වන බවයි. ඊට අමතරව, Uber යෙදවුම් භාවිතයෙන් මෙරට සුන්දරත්වය, පොහොසත් සංස්කෘතිය සහ රසවත් ආහාරපානාදිය මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම නගරයකටම පහසුවෙන් ළඟා වීමේ හැකියාව ද සලසා දීමට අප කටයුතු කරන ඇති අතරම, සංචාරකයින්ට ගෝලීය මට්ටමේ උසස් සංචාරක අත්දැකීමක් ලබා දීම Uber සමාගමේ බලාපොරොත්තුව බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට සංචාරක කර්මාන්තය ප්‍රධාන දායකත්වයක් සපයන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින පොහොසත් සංස්කෘතික උරුමයන්, සිත් ඇදගන්නාසුළු භූ දර්ශන සහ සුන්දර වෙරළ තීර හේතුවෙන්, මෙම දිවයින ලොව පුරා සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වී තිබේ. ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතරට ගාල්ල, මහනුවර, සීගිරිය, යාල ජාතික වනෝද්‍යානය සහ නුවරඑළිය ඇතුළත් වේ. එමෙන්ම, බත් සහ ව්‍යංජන, ආප්ප සහ කොත්තු වැනි සාම්ප්‍රදායික මෙන්ම නූතන ආහාර ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික ප්‍රණීත ආහාරපාන ද ප්‍රධාන වශයෙන් සංචාරක ආකර්ෂණනයට හේතු වී තිබේ.

Uber යෙදවුම භාවිතයෙන් පහසුවෙන් මෙන්ම දැරිය හැකි මිලකට සංචාරක පහසුකම් ලබාගැනීම සහ ආහාරපානාදිය ඇනවුම් කිරීමේ හා බෙදා හැරීමේ හැකියාව ලබා දී තිබෙන අතර, ඒ ඔස්සේ සංචාරකයින්ට පහසුවෙන්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ දේශීය ආහාරපාන අත්හදා බැලිමේ හැකියාව ද ලබා දී තිබේ. ගෝලීය වශයෙන් භාවිතයට ගන්නා යෙදවුමක් ලෙස Uber, තම සංචාරක සැලසුම්වල අත්‍යවශ්‍ය අංගයක් ලෙස සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දායක වන සමාගමක් ලෙස තම ස්ථානය තහවුරු කරගෙන තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව