ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගත හැකි අයුරු

Indika De Zoysa (LBN)

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්වලට විවිධ ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍ය වේ.

ඉන්දික ද සොයිසා විසිනි

සන්නිවේදන ක්‍රමයක් ලෙස ආරම්භ වූ සියලු සමාජ මාධ්‍යයන් අද වන විට ව්‍යාපාර වර්ධනයේ ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇත්තේ එම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා සුවිසල් අත්වැලක් සපයමිනි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරණය සිදු කිරීම අද වන විට ඉතා ආකර්ෂණීය හා තරඟකාරී විකල්පයක් බවට පත්ව ඇති අතර එය ව්‍යාපාරයන්ට තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමටද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්ව ඇත. එහිදී ගෙවුණු වසර 10ක කාලය තුළ සිදු වූ සමාජ මාධ්‍ය නව්‍යකරණය තුළින් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පරිවර්තනීය බලපෑමක් ව්‍යාපාර වෙත ඇති කළ බව පැහැදිලිව දක්නට හැකිය.




ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා සමාජ මාධ්‍යයේ හැකියාව

අද වන විට ව්‍යාපාර සාර්ථකත්වය උදෙසා විප්ලවීය වෙනසක් සිදු කිරීමට සමාජ මාධ්‍යයන්ට හැකි වී තිබේ. විශේෂයෙන් විවිධ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම, සිය සන්නාම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙන්ම විකුණුම් ඉහළ නැංවීම සඳහා ඉතා ලාභදායී මෙන්ම වඩා ඵලදායී මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය සඳහන් කළ හැකිය. ඒ අතුරින් TikTok වැනි සමාජ මාධ්‍යයන් අලෙවිකරණ උපාය මාර්ග, ඉලක්කගත වෙළෙඳ ප්‍රචාරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, පාරිභෝගික අවබෝධය හා ඍජු සන්නිවේදනය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. මෙම සමාජ මාධ්‍ය භාවිතය තුලින් ව්‍යාපාරයන්ට ඔවුන්ගේ පර්යේෂකයින් පිළිගන්නා, ඔවුන් සමඟ මනා සබඳතාවයක් ගොඩනගන හා පාරිභෝගික ආකර්ෂණය ඉහළ නංවන ප්‍රබල අන්තර්ගතයක් නිර්මාණය කර ගැනීමට අවකාශ උදා වේ.

තවද ව්‍යාපාරයන්ට ක්‍රියාශීලිව කටයුතු කිරීමට හා වෙළෙඳපොල ප්‍රවණතාවන්ට ප්‍රතිචාර දැක්වීමටද මෙම සමාජ මාධ්‍යයන් තුලින් හැකියාව ඇත. එසේම ව්‍යාපාරයන් වෙත පාරිභෝගිකයින් විසින් එවෙලේම ලබා දෙන ප්‍රතිචාරයන් තුළින් තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනස් කිරීමට, ගැටළු විසඳීමට මෙන්ම නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීමටද මින් අවකාශ සැලසේ.  සුළු පරිමාණ ව්‍යාපාරයන්ට නව නිෂ්පාදන පිළිබඳ පරීක්ෂා කිරීමට, පාරිභෝගික ප්‍රතිචාර මැන ගැනීමට හා වෙළෙඳපොල පර්යේෂණයන්ගෙන් තොරව දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට මේ තුළින් හැකිවීම ඊට උදාහරණ ලෙස සඳහන් කළ හැකිය. වත්මන් පාරිභෝගික රුචි අරුචිකම් ඉක්මනින් වෙනස් වීමට ලක්වන බැවින් මේ ආකාරයේ වේගවත් ඩිජිටල් යාන්ත්‍රණයක් ව්‍යාපාරයකට ඉතා වැදගත් වේ.

Online හි ශක්තිමත් පැවැත්මක්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි දියුණුව සඳහා ඵලදායී ලෙස සමාජ මාධ්‍ය යොදා ගනිමින් online ව්‍යාපාර පැවැත්මක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. සියලු සමාජ මාධ්‍ය නාලිකා හරහා ආකර්ෂණීය සන්නාම අනන්‍යතාවක් නිර්මාණ කිරීමෙන් ආරම්භ වන මෙය නිෂ්පාදකයා පාරිභෝගිකයාට පෙන්වන ආකාරය, කටහඬ හෝ පණිවිඩ යැවීම හරහා සන්නාමය තමන්ට ගැලපේද නැද්ද යන වග පාරිභෝගිකයින්ට පිළිගැනීමට හැකි වේ. තවද තම පාරිභෝගිකයින් වෙත ලබා දෙන නිෂ්පාදනයන්හි තත්වය වැනි දේ පිළිබඳවද එහි අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ සඳහා තොරතුරු සහිත ලිපි, ආකර්ෂණීය වීඩියෝ වැනි දේ යොදා ගත හැකිය.

සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරීව කටයුතු කිරීමද මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් තීරණාත්මක සාධකයක් වේ. විශේෂයෙන් අදහස්වලට ප්‍රතිචාර දැක්වීම, සංවාදයන්ට එක්වීම හා පාරිභෝගික විමසීම් සඳහා පිළිතුරු ලබා දීම තුළින් පාරිභෝගිකයින් සමඟ අන්‍යෝන්‍ය සබැඳියාව වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතු අතර එය ව්‍යාපාරයේ වර්ධනයට ධනාත්මක බලපෑමක් එක් කරනු ඇත. තවද පාරිභෝගික හැසිරීම් හා ප්‍රචාරණයන්හි කාර්ය සාධනය මැන ගැනීමටද මේ තුළින් අවකාශ උදා වන අතර ඒ තුළින් ව්‍යාපාරයන්හි උපාය මාර්ග වෙනස් කරමින් සාර්ථක උපාය මාර්ගයන් වෙත යොමු වීමටද අවකාශ සැලසේ.

සමාජ වේදිකාවන්හි හැකියාව ව්‍යාපාර සඳහා උපයෝගී කර ගැනීම

අද වන විට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 14.58ක් පමණ වන අතර ඉන් 7.20ක ප්‍රමාණයක් සමාජ මාධ්‍ය භාවිත කරනු ලබයි. සමස්තයක් ලෙස ගතහොත් එය මුළු ජනගහනයෙන් 32.9%කි. මේ තුළින් අපට දැකිය හැක්කේ සුවිසල් ප්‍රේක්ෂක පිරිසක් වෙළෙඳ නාම වටා සම්බන්ධ වන බවයි. මෙරට ව්‍යාපාරයන්ට නව වෙළෙඳපොල වෙත පිවිසීමට මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනීමටත්, නවෝත්පාදනයන් හඳුන්වා දීමටත් මේ තුලින් හැකියාව උදා වේ.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍යයන්හි ප්‍රජාව හා සංස්කෘතික අදාල බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බැවින් ඊට ගැලපෙන ආකාරයෙන් අන්තර්ගතයන් සකස් කිරීම තුළින් පාරිභෝගිකයින් සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකි වේ. එසේම කලාපීය වශයෙන් බලපෑම් සහගත පුද්ගලයින් සමඟ සහයෝගයෙන් හා ප්‍රජා කටයුතු සමඟ එක් වීමෙන් තමන්ගේ නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ දෘශ්‍යතාව හා විශ්වාසය ගොඩ නැගීමට ව්‍යාපාරිකයින්ට අවස්ථාව උදා වේ. ඒ වගේ ශ්‍රී ලංකාව තුළ විවිධ පළාතවල භාවිත කරන භාෂාව, සංස්කෘතිය පිළිබඳව සැලකිලිමත් වීමද මෙහිදී ඉතා වැදගත් වන අතර ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.

අනාගතය සාර්ථකත්වය

අනාගතයේදී ව්‍යාපාර වර්ධනයේ ප්‍රමුඛ භූමිකාවක් සමාජ මාධ්‍ය තුළින් සිදු වනු ඇත. තව තවත් නව සමාජ මාධ්‍ය වේදිකාවන් හා තාක්ෂණයන් ඉදිරියේදී බිහිවනු ඇති අතර ඒ පිළිබඳව ව්‍යාපාරයන් දැනුවත් විය යුතුය. ඔවුන්ගේ උපාය මාර්ගයන් ඒ අනුව සකස් විය යුතුය. මේ වන විට කෘතිම බුද්ධිය වැනි නවෝත්පාදනයන් සමාජ මාධ්‍ය අලෙවිකරණයේ අනාගතය තීරණය කිරීමටත්, වර්ධනය කිරීමටත් අවස්ථාව සලසා දී ඇති ආකාරය ඊට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.

මෙහිදී වඩා වැදගත් වන්නේ ව්‍යාපාරයන් විසින් සමාජ මාධ්‍ය තුළ වෙනස් වන ප්‍රවණතා ඉක්මනින් හඳුනා ගනිමින් ඒවාට අනුව කටයුතු කිරීමයි. ඒ තුළින් වේදිකාවන්හි තමන්ගේ උපාය මාර්ගයන් තරඟකාරී මට්ටමක පවත්වා ගැනීමට හැකි වේ. එසේම නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ අනෙකුත් අයට වඩා ඉදිරියෙන් සිටීම තුළින් ව්‍යාපාර වර්ධනය, නවෝත්පාදන හා සාර්ථකත්වය සඳහා අවස්ථාව පහසුවෙන් සලසා ගත හැකි වනු ඇත.

අවසාන වශයෙන් සඳහන් කළ හැකිකේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් සමාජ මාධ්‍යයන් සතු හැකියාව කිසි විටෙක ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට තමන්ගේ ව්‍යාපාරයන්හි සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට දිනෙන් දින ඉහළ යන සමාජ මාධ්‍ය භාවිතය ප්‍රයෝජනයට ගත හැකි අතර උපාය මාර්ගික වත්කමක් ලෙස ඒ වෙත යොමු වීම වෙළෙඳපොල තුළ තමන්ගේ දියුණුව සාක්ෂාත් කර ගැනීමට මහත් පිටිවහලක් වනු නිසැකය.

(කතුවරයා තොරතුරු තාක්ෂණ සම්මේලනයේ සභාපතිවරයාය)



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව