
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමය සංකේතවත් කරමින් සිය 2025 දින දර්ශනය ‘ශ්‍රී ලංකාවේ බත්කූරන්’ යන තේමාව යටතේ එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේ ය. බත්කූරන්ගේ අලංකාරය සහ පාරිසරික වැදගත්කම මෙන්ම, රට තුළ යහපත් පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා බත්කූරන්ගෙන් ඉටුවන වැදගත් මෙහෙවර මෙම දින දර්ශනය මගින් මැනැවින් පිළිබිඹු වේ.
‘ජල පෝෂක ප්‍රදේශවල භාරකරුවන්’ ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන බත්කූරන්, අපෘෂ්ඨවංශික සත්ව විශේෂ අතර අග්‍ර විලෝපිකයන් වන අතර, එම සතුන් ජලයේ ගුණත්වය සහ පරිසර පද්ධතිවල යහපත් බව හඟවන සාක්ෂියක් ලෙස සලකනු ලබයි. එමෙන්ම පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය තුළද බත්කූරන්ට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. මෙම සතුන්ගේ වර්ණවත් බව, සෙසු කෘමි සතුන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වීම, පියාසර කිරීමේ හැකියාව සහ මිනිසුන් විසින් වෙනස් කරන ලද පරිසරයන් තුළ පවා දැකගත හැකි වීම නිසා බත්කූරන් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් කෘමි සත්ත්ව විශේෂයක් බවට පත් වී ඇත.
ශ්‍රී ලංකාවේ බත් කූරන් වර්ග 132 ක් සිටින අතර ඒ අතරින් 59 ක් මෙරටට ආවේණික වර්ග ලෙස සැලකේ. මේ අතරින් වර්ග 13 ක සිතුවම් SLT-MOBITEL දින දර්ශනයට ඇතුළත් වී තිබෙන අතර, මෙම සතුන් රැකගැනීමේ වැදගත්කමද එහි දක්වා ඇත. එමෙන්ම මෙහි ඇතුළත් සිතුවම්, මෙම සතුන්ගේ පරිසර විද්‍යාත්මක වැදගත්කම සහ විස්මයජනක සුන්දරත්වය මැනැවින් නිරූපණය වන පරිදි, අතිශය කලාත්මක ලෙස නිර්මාණයකර තිබේ.
“දිගුකාලීන දැක්මක් සහිත ජාතික සන්නාමයක් ලෙස SLT-MOBITEL, ජනතාව අතර ඩිජිටල් සන්නිවේදන සේවා හරහා සබඳතා ගොඩනැංවීමෙන් ඔබ්බට යමින් සුවිශේෂී සේවාවක් සිදු කරනවා. එමෙන්ම අපගේ වටිනා පාරිභෝගිකයන්ට, පරිසරයේ වැදගත්කම වටහා ගැනීමට අත්වැලක් වීමට අප කැප වී සිටිනවා. බත්කූරන්ගේ අලංකාරය සහ වැදගත්කම දැක්වෙන අපගේ 2025 දින දර්ශනයේ ඉලක්කය වන්නේ, ශ්‍රී ලංකාවේ උරුමයේ කොටසක් වන ජෛව විවිධත්වය වඩාත් ගැඹුරින් අගය කිරීමට ජනතාව යොමුකරවීමයි. මෙම වැඩසටහන ඔස්සේ, පාරිසරික භාරකාරත්වය සම්බන්ධයෙන් SLT-MOBITEL දක්වන කැපවීමට සමගාමීව, සංරක්ෂණය හා තිරසරත්වය පිළිබඳ කතිකාවන් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වනවා.” SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දැකගත හැකි බත්කූරන් වර්ග 13 ක ඉතාමත් ආකර්ෂණීය සිතුවම් මෙම දින දර්ශනයට ඇතුළත් වී තිබේ. එහි සෑම මාසයකම ඉතා අලංකාර සිතුවම් හා රූප සටහන් ආදිය ඔස්සේ මෙරට වෙරළ තීරයේ සිට කඳුකරය දක්වාම විසිරී සිටින විවිධ බත්කූරන් වර්ගවල සංකීර්ණ ජීවන චක්‍ර සහ එම සතුන්ගේ පාරිසරික වැදගත්කම නිරූපණය වී ඇත. මෙම චිත්‍ර සඳහා නිර්මාණ දායකත්වය ලබා දී ඇත්තේ පුලස්ති එදිරිවීර, පාරමී විද්‍යාරත්න සහ උදේශිකා ප්‍රියදර්ශනී යන අය විසිනි. මෙම සිතුවම්, බත්කූරන්ගේ සුන්දරත්වය මෙන්ම සංවේදී පරිසර පද්ධතිවල සමබරතාව රැකගැනීම සඳහා එම සතුන්ගෙන් ඉටුවන මෙහෙවර මැනැවින් පෙන්වා දෙයි. ක්ෂේත්‍ර ගවේෂකයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අංශයේ අමිල සුමනපාල මහතා මෙම ව්‍යාපෘතිය සඳහා සම්පත් දායකත්වය ලබා දෙමින් ඊට නොමඳ සහයෝගයක් ලබාදුන්නේ ය.
වසර 19 ක් පුරා SLT-MOBITEL හි වාර්ෂික දින දර්ශනය, ශ්‍රී ලංකාවේ පාරිසරික හා සංස්කෘතික සශ්‍රීකත්වය නිරූපණය කරන වේදිකාවක් ලෙස මෙන්ම, සංරක්ෂණය සඳහා වන සාමූහික වගකීම අවධාරණය කරන මාධ්‍යයක් ලෙස ක්‍රියා කර ඇත. එහි 2025 දින දර්ශනයද පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන අතර, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.