ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීමේදී තිරසාර අනාගතයකට සැලසුම් ඉදිරිපත් කරයි

PA POST AGM IMAGE 02 (LBN)

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් 14 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී සාර්ථකව අවසන් විය. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ එම මහා සභා රැස්වීම මෙරට වැවිලි කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කිරීමට සමත් විය.

මෙතෙක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කළ සේනක අලවත්තේගම මහතා විසින් නව සභාපතිවරයා ලෙස පත් වූ සුනිල් පොහොලියද්ද මහතා වෙත සංගමයේ සභාපතිත්වය නිල වශයෙන් භාර දීම ද මෙහිදී සිදු විය. එම නායකත්ව තනතුරුවල සිදු වූ වෙනස් වීම වර්තමානයේ විවිධ අභියෝග හා අවස්ථාවලට මුහුණ දෙමින් සිටින වැවිලි කර්මාන්තයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසද සඳහන් කළ හැකිය.
 



 

අලවත්තේගම මහතා සභාපතිවරයා ලෙස සිය අවසන් කතාව සිදු කරනු ලැබුවේ තමා සභාපතීත්වය දැරූ කාලය තුළ විශේෂ අවස්ථාවන් පිළිබඳ මතකය අවදි කරමිනි. එහිදී සංගමය ලබා ඇති සැලකිය යුතු වර්ධනය මෙන්ම දිගු කලක් පැවති වැටුප් පිළිබඳ සාකච්ඡා සාර්ථකව විසඳා ගැනීම වැනි කරුණු පිළිබඳව ඒ මහතාගේ අවධානය යොමු විය. එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ දෛනික අවම වැටුප ලෙස රු. 1350/-ක මුදලක් මෙන්ම දිනකට නෙලන සම්මත තේ දලු ප්‍රමාණයට වඩා වැඩි වන අමු තේ දලු කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 50ක මුදලක් ලබා දෙමින් ඵලදායී වර්ධනයක් ඔවුන් වෙත ලබා දීමට හැකි වූ බවයි. එසේම සුවිසල් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ වුවත් තමන්ගේ පාලන කාලයේදී කම්කරුවන් හා කලාපීය වැවිලි සමාගම් විසින් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වූ බවද අලවත්තේගම මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අලවත්තේගම මහතා පවසා සිටියේ “අපි දිනෙන් දින වර්ධනය වන විට කම්කරුවන්ද ඇතුළුව කර්මාන්තයේ සියලු දෙනාගේ යහපත උදෙසා වැටුප් හා ප්‍රතිපත්ති සම්බන්ධ තීන්දු තී්රණ ගත යුතුයි. එසේම අපගේ කර්මාන්තය ශක්තිමත් හා තිරසාර අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කළ යුතු අතර ඒ තුළින් ඉදිරි පරම්පරාවන්ගේ අභිවෘද්ධිය සලසා දිය හැකියි.” යනුවෙනි.

අලවත්තේගම මහතාගෙන් හිස් වූ සභාපතිධූරයේ වගකීම භාර ගනිමින් සිය ඉදිරි දැක්ම පිළිබඳව සුවිශේෂී දේශනයක් පැවැත්වූ පොහොලියද්ද මහතා විසින් කර්මාන්ත පැවැත්මට තර්ජනයක් ලෙස සලකනු ලැබූ වැටුප් අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා කර්මාන්තය තුළ ඇති සාමූහික ශක්තිය පිළිබඳව පැසසුමට ලක් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොහොලියද්ද මහතා “2024 මැයි 01වන දින රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් යෝජනා වුණා. 70%ක වැටුප් වැඩිවීමක් වූ එය අපගේ කර්මාන්තය කඩා වැටීමට ලක් විය හැකි හේතුවක් වුණා. එහි බරපතලකම හඳුනාගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එම ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යාමටත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කටයුතු කළා. අපගේ එම ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස වඩාත් තිරසාර වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකි වුණා. අපට සමඟියෙන් කටයුතු කිරීම තුළින් ලබා ගත හැකි ජයග්‍රහණයන් පිළිබඳ එය එක් සාක්ෂියක් පමණයි.” යනුවෙන් පැවසුවේය.

වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදනයන්ගේ හා තාක්ෂණයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරමින් අදහස් දැක් වූ පොහොලියද්ද මහතා සඳහන් කර සිටියේ “අපගේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නවෝත්පාදනයන් සිදු කිරීමට කටයුතු කළ යුතුයි. එසේම අපගේ ශ්‍රම බලකාය අඩුවීමත් සමඟ ඒ සඳහා යාන්ත්‍රීකරණ තාක්ෂණය යොදා ගැනීම තුළින් යම් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වනවා. 1992 වසරේ සිට බැලූ විට කර්මාන්තයේ ශ්‍රම බලකායෙන් 50%ක් පමණ අහිමි වී තිබෙන අතර එය නිෂ්පාදනයන් සඳහා ඍජු බලපෑමක් එල්ල කරන බව සඳහන් කළ හැකියි. එසේම මේ වසරේදී තේ කිලෝ මිලියන 300කට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කර තිබුණද අද පවතින තත්වය තුළ වසර අවසානයේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 250ක් වත් ලබා ගත නොහැකි වනු ඇතැයි මා සිතනවා” යනුවෙනි.

තවද කර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය වශයෙන් තරඟාකරීත්වයක් ලබා දීමට තේ වතුවල මෙන්ම කර්මාන්තශාලාවල මෙහෙයුම් සඳහා නව තාක්ෂණය, යාන්ත්‍රීකරණය හා ස්වයංක්‍රීයකරණය යොදා ගැනීමේ අවශ්‍යතාව ද පොහොලියද්ද මහතා විසින් අවධාරණය කරන ලදී. ගෝලීය වශයෙන් අවශ්‍ය තරම් තාක්ෂණය ඇති බවත් එම තාක්ෂණයන් ක්‍රියාවට නැංවීම සංගමයේ කටයුත්තක් බවත් ඒ මහතාගේ අදහස විය.

එසේම දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් අදහස් මතු කළ පොහොලියද්ද මහතා සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසයන්ට අනුගත නොවී කෘෂි ව්‍යාපාරයන් සිදු කළ නොහැකි බවයි. “අපි පාම් ඔයිල්, රබර් වැනි බෝග සඳහා විවිධාංගීකරණ වැඩපිළිවෙලක් ආරම්භ කළද ප්‍රතිපත්තිමය කරුණක් හේතුවෙන් එය පසුබෑමට ලක් වුණා. අපගේ අයිතිවාසිකම් ක්‍රියාවට නැංවීම හා ඇති කරගත් ගිවිසුම්වලට බලධාරීන්ගේ අවධානය ලබා දීම තුළින් පෞද්ගලීකරණයේ ශක්තිය ආරක්ෂා කර ගත යුතුයි” යනුවෙන්ද ඒ මහතා සඳහන් කරන ලදී.

පොහොලියද්ද මහතා තවදුරටත් මෙසේ සඳහන් කර සිටියේය. “ඉදිරියේදී බෝග වගාවේ සිදුවන වෙනස්කම් සඳහා පහසුකම් සැලසීම සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය හා සහායක ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති යොදා ගැනීමට කටයුතු කළ යුතුයි. වැටුප් වැඩිවීමත් සමඟ අපි නව තාක්ෂණයන් අනුගමනය කිරීමට කටයුතු නොකරන්නේ නම් කර්මාන්තයට හා කොටස්හිමියන් වෙත ප්‍රතිලාභ ලබා දීමට නොහැකි වේවි. ක්ෂේත්‍රය වෙත ආයෝජනය කරනු ලබන්නේ ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ නම් පමණයි. එම නිසා ආයෝජකයින්ගේ හා කොටස්හිමියන්ගේ විශ්වාසය දිනා ගැනීමට වැවැලිකරුවන් ලෙස මෙම ප්‍රතිලාභ පිළිබඳව ඔවුන්ට සහතික කිරීම අපගේ යුතුකමයි ”

අවසාන වශයෙන් ඒ මහතා සඳහන් කර සිටියේ කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම්, රාජ්‍ය ආයතන හා අනෙකුත් පාර්ශවකරුවන්ගේ අඛණ්ඩ උත්සාහය හා සහයෝගීතාවය අවශ්‍ය වන බවයි. “මේ වන විට ඉතා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කර ඇති අප තවදුරටත් ඉදිරියට යා යුතුව තිබෙනවා. අඛණ්ඩ ක්‍රියාවලියක් වන මෙය ඉදිරියට  ගෙන යාම සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය මම බලපාපොරොත්තු වනවා” යනුවෙනි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ මොහාන් පණ්ඩිතගේ මහතා ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ උත්සාහයන් අගය කරමින් නව්‍යකරණයේ හා අනුවර්තනයේ වැදගත්කම ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “අභියෝග ඉතා සුවිශේෂියි. නිෂ්පාදන හා වෙළෙඳපොල විවිධාංගීකරණය, තාක්ෂණය හා සම්බන්ධ කිරීම සහ පාරිසරික, සමාජීය හා පාලන මූලධර්ම පිළිබඳ අවධානය යොමු කිරීම තුලින් වඩා හොඳ අනාගතයක් උදා කර ගැනීමට හැකිවනු ඇති බව මගේ අපේක්ෂාවයි.”

මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ වැවිලි කර්මාන්තයේ ප්‍රවීනයන් දෙදෙනෙකු වන ජයන්තිස්ස රත්වත්තේ මහතා සහ මාලින් ගුණතිලක යන මහතා වෙත ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හා එහි සාමාජිකයින් විසින් වැවිලිකර්මාන්තට හා සංගමයට සිදු කළ සේවාව වෙනුවෙන් යාවජීව සාමාජිකත්වය ප්‍රදානය කිරීමයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව