
2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුඅබද්ධිත සමාගම් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම්වල අගය රුපියල් ටි‍්‍රලියන 2.999 ක් දක්වා වර්ධනය වූ බවයි.
කාර්තුව සඳහා දළ ආදායම රුපියල් බිලියන 88.10 ක් දක්වා 9.85% කින් වර්ධනය වී ඇති අතර පොලී ආදායම රුපියල් බිලියන 72.60 ක් දක්වා 3.14% කින් වර්ධනය වී ඇත. පැවති අඩු අනුපාත හේතුවෙන් බැංකුවේ වගකීම් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොලී වියදම් රුපියල් බිලියන 38.38 ක් දක්වා 10.09% කින් අඩු වීම නිසා සමාලෝචනය කරන ලද මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම 23.53%ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 34.21 ක් විය.
මුළු මෙහෙයුම් ආදායම 33.40% කින් වර්ධනය වී රුපියල් බිලියන 46.62 ක් වූ නමුදු හානිපූර්ණ ගාස්තු හා අනෙකුත් පාඩු සඳහා සමූහයේ වෙන් කිරීම් 110.44% කින් රුපියල් බිලියන 7.23 ක් දක්වා වැඩි කරන ලදී. මෙහිදී තනි තනිව සැලකිය යුතු ගනුදෙනුකරුවන් සඳහා විචක්ෂණශීලී පදනමක් මත සිදු කරන පද අතිරේක ප්‍රතිපාදන හේතුවෙන් බැංකුවේ දුර්වල ණය (අදියර 3) අනුපාතය ශක්තිමත් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 39.39 ක් වූ අතර එය 25.00%ක වර්ධනයකි. මෙහෙයුම් වියදම් 6.20%ක අඩු වර්ධනයක් සමඟ රුපියල් බිලියන 12.80 කට සීමා කර ගැනීමට සමූහයට ඇති හැකියාව හේතුවෙන් මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 26.59 ක් දක්වා 36.64% කින් වර්ධනය විය.
මූල්‍ය සේවා සඳහා වන බදු 48.18% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.03 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුන සඳහා සමූහයේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 22.56 ක් විය. එය 34.77% ක වර්ධනයකි. ආදායම් බදු 27.92% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.58 ක් වීම හේතුවෙන් සමාලෝචනය කරන ලද කාර්තුව සඳහා සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.97 ක් වූ අතර එය 38.52% ක වර්ධනයකි.
වෙනමම ගත් විට කොමර්ෂල් බැංකුව පමණක් මාස තුන සඳහා බදු වලට පෙර රුපියල් බිලියන 21.88 ක ලාභයක් සහ බදු වලට පසු රුපියල් බිලියන 14.50 ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පිළිවෙලින් 35.10% ක හා 38.71% ක වර්ධනයකි.
මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුසීන් මහතා මෙසේ පැවසීය: “වසරේ පළමු කාර්තුව තුළ සමූහය සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති අතර එය ව්‍යාපාර පරිමාව අනුව පමණක් ම නොවේ. පුද්ගලික අංශයේ බැංකු සමූහයක් පළමු වරට වත්කම් රුපියල් ටි‍්‍රලියන 3ක සන්ධිස්ථානයකට ළඟා වීම සැලකිය යුතු ජයග්‍රහණයකි. ඒ හා සමානව ම, බැංකුවේ දුර්වල ණය (අදියර 3) අනුපාතය පහත වැටීම සහ ශේෂ පත්‍ර වර්ධනයට සමගාමීව ශුද්ධ පොලී ආන්තිකය වැඩිදියුණු වීම ද සැලකිය යුතු කරුණු වේ.”
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා සඳහන් කලේ, 2024 ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන යමින් පළමු කාර්තුවේ දී සමූහය සිය ණය පොතේ සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති බවත්, පෙර වසරේ අනුරූප කාර්තුවේදී වෙළද කටයුතු වලින් ලද රුපියල් බිලියන 1.9 ක ශුද්ධ අලාභයක් ආපසු හරවා ඇති බවත්ය. මේ අතර ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බවත්, ස්ථාවර තැන්පතු සඳහා වැඩි ඉල්ලුමක් තිබියදීත් හොඳම CASA අනුපාතය පවත්වාගෙන යන බවත් ඔහු පෙන්වා දුන්නේය. “මෙමගින් ව්‍යාපාරයේ විවිධ අංශ කෙරෙහි අප දක්වන අවධානය පෙන්නුම් කරන අතර මේ සියල්ල අපගේ ශක්තිමත් පළමු කාර්තුවේ ප්‍රතිඵල වලට දායක වී තිබෙනවා. එමගින් අපි අනාගත වර්ධනය සඳහා ඔරොත්තු දීමේ හැකියාව ද ගොඩනඟා ගෙන ඇත්තෙමු,” යනුවෙන් ද මනතුංග මහතා පැවසීය.
සමාලෝචනයට ලක් කළ මාස තුන තුළ සමූහයේ මුළු වත්කම් රුපියල් බිලියන 122.85 කින් හෙවත් 4.27% කින් ඉහළ ගොස් 2025 මාර්තු 31 වන දිනට රුපියල් ටි‍්‍රලියන 2.999ක් බවට පත් විය. සමූහය කාර්තුව අවසන් කලේ රුපියල් ටි‍්‍රලියන 1.642 ක දළ ණය අත්තිකාරම් අගයක් සමඟිනි. එය මාස තුනක් තුළදී රුපියල් බිලියන 116.75 ක එනම් 7.65% ක වර්ධනයක් වන අතර රුපියල් බිලියන 38.92 ක මාසික සාමාන්‍ය වර්ධනයකි. පසුගිය මාස 12 තුළ ණය පොත් වර්ධනය රුපියල් බිලියන 326.02 ක් වූ අතර එහි මාසික සාමාන්‍ය අගය රුපියල් බිලියන 27.17 කි.
මේ අතර, සමාලෝචනය කරන ලද මාස තුන තුළ තැන්පතු වල වටිනාකම රුපියල් බිලියන 105.82 කින් එනම් 4.59% කින්, රුපියල් ටි‍්‍රලියන 2.412 ක් දක්වා වර්ධනය වී ඇත. එය රුපියල් බිලියන 35.27 ක සාමාන්‍ය මාසික වර්ධනයක් හා මාස 12ක් තුළ රුපියල් බිලියන 22.60 ක සාමාන්‍ය වර්ධනයකි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier ¸ බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.