රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය 20,000කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් 13වැනිදා ඇරඹේ

Image - Ritzbury sir John Tarbat - 2024 (LBN)

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව 12 වැනි වරටත් කටයුතු කරන බව රිට්ස්බරි ආයතනය පසුගියදා නිවේදනය කළේ ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, රිට්ස්බරි අනුග්‍රාහකත්වය සහිතව, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින්  සංවිධානය කරනු ලබන, 2024 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ ආරම්භය නිවේදනය කිරීම, පසුගියදා (කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී )සිදුකෙරිණි.

 


 

මෙවර තරගාවලිය සඳහා පාසල් 1,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20,000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත අතර, මෙය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩා තරු හඳුනාගැනීමට සහ ඔවුන් බලගැන්වීමට රිට්ස්බරි ආයතනය දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකිය.

කනිෂ්ඨ රිට්ස්බරි ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවත්වෙන්නේ 53 වැනි වරට වන අතර එහිදී  11 න් පහළ, 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කලාපීය මට්ටමින් තරගාවලියට සහභාගී වීමට වැඩි අවස්ථා ලබාදීම සඳහා යාපනය සහ මඩකලපුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් නව තරග ඉසව් දෙකක් පැවැත්වීමටද මෙවර කටයුතු යොදා ඇත.

තරගාවලියේ ප්‍රථම අදියර සියලුම පළාත් ආවරණය කරමින් පැවැත්වෙන අතර, එහි ආරම්භය උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ජූනි 13 සහ 14 දෙදින තුළ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.  මධ්‍යම පළාත, වයඹ පළාත සහ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වන තරග ඉසව් ජූලි මස 12 දින සිට 14 දින දක්වා වෙන්නප්පුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා වන තරග ඉසව් ජූලි මස 26 දින සිට 28 දින දක්වා බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදීද,  නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා වන  තරග ඉසව් අගෝස්තු 03 සහ 04 දෙදින තුළ මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. දකුණ, ඌව සහ සබරගමුව පළාත් සඳහා වන තරග ඉසව් අගෝස්තු 10 දින සිට 12 දින දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

පළාත් මට්ටමින් පැවැත්වෙන ඉසව්වලදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹදී පැවැත්වෙන අවසන් අදියරේ තරගවලට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. මේ ආකාරයට මුළු දිවයිනම නියෝජනයවන ආකාරයෙන් සංවිධානය වන තරගාවලියකට අඛණ්ඩව සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් රිට්ස්බරි ආයතනය සතුට පළකරයි.

මේ අතර ‘රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය’  ජූලි මස 02 දින සිට 04 දින දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පසුගිය වසරේදී මෙම වැඩසටහනට 6,000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර, එම සාර්ථකත්වයෙන් පන්නරය ලබමින් දැවැන්ත මට්ටමින් මෙම තරගාවලිය මෙවරත් පැවැත්වීමට රිට්ස්බරි සැලසුම්කර ඇත.

එමෙන්ම 92 වැනි වරටත් පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් මස 10 දින සිට 13 දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ වයස් කාණ්ඩ යටතේ එහි තරග පැවැත් වේ.

තවද, රිට්ස්බරි ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුට තම ක්‍රීඩා හැකියා තවදුරටත් දියුණු කරගැනීම සඳහා රිට්ස්බරි වෙතින් ශිෂ්‍යත්ව හිමි වනු ඇත.

“රිට්ස්බරි සෑම විටම රටේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියා වැඩිදියුණු කිරීමට කැප වී සිටිනවා. එමෙන්ම ඒ වෙනුවෙන් නැවත වරක් ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීමත් අපට විශාල සතුටක්. මේ තරගාවලියේ සාර්ථකත්වය සහ එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ උදෙසා දායක වූ ප්‍රධාන සාධකයක් බවට පත්වීමට අපට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් ආඩම්බර වෙනවා .” CBL Foods International පුද්. සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසී ය.

“යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගන්වමින්, රට තුළ නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීමට රිට්ස්බරි ඉටුකරන කාර්‍යභාරය, මෙවැනි ජාතික තලයේ තරගාවලි සඳහා සිදුකරන දායකත්වය තුළින් මනාව නිරූපණය වේ.” මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි ආයතනය ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගය කරමින්, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමයේ සභාපති ඩී. ඒ. එස්. එස්. විජේසිංහ මහත්මිය පැවසී ය.

ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියට අමතරව රිට්ස්බරි ශ්‍රී ලංකාවේ හොකී, පිහිනුම්, ස්කොෂ් සහ රග්බි වැනි ක්‍රීඩා රැසකට සක්‍රීයව සිය සහයෝගය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාමයක් වන රිට්ස්බරි ඉටුකරන මෙහෙවර, ක්‍රීඩාව ඔස්සේ රටේ තරුණ පරපුරේ හැකියා වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් පෙන්නුම් කරන කැපවීමට සාක්ෂි දරයි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව