මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සේවාවන් කන්ද උඩරටට තවදුරටත් සමීප කරවමින් නවතම ශාඛාව කටුගස්තොටදී විවෘත වේ

1

 



 

 

ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. අංක 214, මඩවල පාර, කටුගස්තොට යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයේ 22 වැනි ශාඛාවයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ. කටුගස්තොට නගරයේ මෙන්ම මහනුවර තදාසන්න ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට මෙම නව ශාඛාව මගින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා කියා සිටියේ, සමාගමේ ව්‍යාපාර වර්ධන සැලසුම සහ ශාඛා ජාලය පුළුල් කිරීමේ ක්‍රමෝපාය යටතේ මධ්‍යම පළාතේ කේන්ද්‍රීය නගරයක් ලෙස කටුගස්තොට නගරය හඳුනාගත් බවයි. “ඇත්ත වශයෙන්ම කටුගස්තොට යනු A9 සහ A10 මහාමාර්ග දෙකම හමුවන ස්ථානයක්. ඒ වගේම එය මහනුවර නගරයට පිවිසීමේ ප්‍රධාන ස්ථාන තුනෙන් එකක්ද වනවා. එම නිසා කටුගස්තොට ප්‍රදේශයේ ශාඛාවක් පිහිටුවීම මගින්, කුරුණෑගල සහ මාතලේ යන ප්‍රදේශ වල සිට මහනුවර දක්වා ගනුදෙනුකරුවන්ට සේවාවන් සැලසීම පහසුයි. මෙම ප්‍රදේශ වාණිජ, කාර්මික සහ කෘෂිකාර්මික කටයුතු බහුලව සිදුවන, විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රාශියක් පිහිටා ඇති ප්‍රදේශ ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ වගේම මෙමගින් මෙම ප්‍රදේශ වල සිටින ව්‍යාපාරිකයන්, ඉඩම් හිමියන් සහ වෙළඳුන් වැනි ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ට වටිනා ආයෝජන අවස්ථා උදාකර දීමටත් අපට හැකියාව ලැබෙනවා. ඊට අමතරව මෙම ප්‍රදේශ වල ජීවත් වන, වෘත්තීය දක්ෂතා සහිත පුද්ගලයන් පිළිබඳවත් අප දක්වන්නේ විශාල උනන්දුවක්.” දුමින්ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වී ඇති මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ. තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින්, දක්ෂ වෘත්තිකයන් තම කණ්ඩායමට එක්කර ගැනීමට සමාගම කටයුතු කරමින් සිටින අතර, නව කටුගස්තොට ශාඛාව එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්දා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබේ. මෙලෙස හිමිකාරීත්වය වෙනස් වීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්‍රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පිළිබඳව

මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ෆයිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් (Mahindra and Mahindra Financial Services Limited) හි අනුබද්ධ සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් (Mahindra IDEAL Finance Limited), ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් වේ. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභද පිරිනමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව