බැඩ්මින්ටන් සුපිරි තරුව විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලබයි

7-16

වර්තමානයේ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ පිරිමි ඒකල තරග අංශයට සහභාගි වීමට නියමිත බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කළේය.

 



 

මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් තරග අංශයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතර 32 වැනි ස්ථානයට පත් වූ විරේන් නෙත්තසිංහ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසු වෙයි.
ඔලිම්පික් නීතිරගුලාසිවලට අනුව බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සිය රට නියෝජනය කිරීමට අවසර හිමිවන්නේ එක් ඉසව්වකට ක්‍රීඩකයන් දෙදෙනකුට පමණක් වන අතර, මේ වනවිට විරේන් නෙත්තසිංහ ඇතුළු ක්‍රීඩකයන් 39 දෙනකු සෘජුවම සුදුසුකම් ලබා සිටිති.

මෙහි විශේෂත්වය වන්නේ 20 හැවිරිදි වියෙහි පසුවන විරේන් නෙත්තසිංහ සිය විශිෂ්ට හැකියාවන් සහ ක්‍රීඩාවෙන් අනාගතය ජය ගැනීමේ පෙරනිමිති පහළ කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබූ ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වීමය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් තරග ඉසව්වට සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව මේ මස 28 වැනිදායින් නිමාවට පත්වෙයි.
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ සුවිශේෂී චරිතයක් වන විරේන් නෙත්තසිංහ නිරතුරුවම සිය දක්ෂතා සහ නොසැලෙනසුලු අධිෂ්ඨානයක් පෙන්නුම් කරන බව මෙම ස්වර්ණමය අවස්ථාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සඳහන් කරයි.

‘වෙහෙසකින් තොරව පුහුණුවීම් සහ විශිෂ්ටත්වය සඳහා කැපවීම තුළින් ඔහු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගෙන සිටින අතර, ක්‍රමානුකූලව ජයග්‍රහණය කරා පියවර තබා ඇත. සමස්ත ශ්‍රී ලාංකිකයන් මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ඇත. ඔහුගේ මෙම විස්මිත ජයග්‍රහණය වෙනුවෙන් අප විරේන් නෙත්තසිංහට හෘදයාංගම සුබාශිංසන පිරි නමමු. ලොව විශිෂ්ටතම ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් පසුවන ඔබ පසුපස සමස්ත ශ්‍රී ලංකා වාසීන්ම සිටින අතර, ඔබ අඛණ්ඩව ලොව දිප්තිමත් බැඩ්මින්ටන් තරුවක් ලෙස බැබලීම අප සැමට ආඩම්බරයකි.‘ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සඳහන් කරයි.

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව