බාහිර අභියෝග හමුවේ කොමර්ෂල් බැංකුව දෙවන කාර්තුවේ වර්ධන වේගය පවත්වා ගනී

Commercial Bank Chairman Mr Sharhan Muhseen & Managing Director and CEO Mr Sanath Manatunge (LBN)

දේශීය වෙළඳපලට විශේෂිත වූ වෙනස්වීම් වලට දැක්වූ සුචල්‍ය හා ක්‍රියාශීලී ප්‍රතිචාර හේතුවෙන් 2024 පළමු භාගයේදී දළ ආදායම අඩුවුවත්, ප්‍රශංසනීය මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට කොමර්ෂල් බැංකු සමූහය  සමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහය 2024 ජුනි 30න් අවසන් මාස හය සඳහා රුපියල් බිලියන 163.12 ක දළ ආදායමක් ලබා ඇති නමුත් එය 2023 හි අනුරූප කාලයට සාපේක්ෂව 2.71% ක අඩු වීමකි. කෙසේ වෙතත්, දෙවන කාර්තුවේ දළ ආදායම රුපියල් බිලියන 82.91 ක් වූ අතර එය පළමු කාර්තුවට වඩා 0.73% ක ආන්තික ප්‍රතිශතයකින් අඩු වීමකි.

 




 

දළ ආදායම මෙසේ අඩු වීමට හේතු වී ඇත්තේ 2023ට සාපේක්ෂව ණය හා රාජ්‍ය සුරැකුම්පත් සඳහා වෙළඳපල පොලී අනුපාත අඩු වීමයි. සලකා බලන මාස හය සඳහා සමූහයේ පොලී ආදායම රුපියල් බිලියන 139.26 ක් වූ අතර එය 7.66% කින් පහත වැටීමකි. නමුත් එම කාලය සඳහා බැංකුවේ ක්‍්ී් අනුපාතය වැඩිදියුණු වීම හා තැන්පතු නැවත මිල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොලී වියදම් රුපියල් බිලියන 80.64 දක්වා 28.86% ක අඩු විය. මේ නිසා ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 58.62 දක්වා 56.53% කින් වර්ධනය විය.

“සාර්ව ආර්ථික විචල්‍යයන් විසින් මූලික බැංකු මෙහෙයුම් මත අඛණ්ඩව පීඩන ඇති කිරීමත් සමඟ ම අපි කළඹ කළමණාකරණය සහ පිරිවැය කාර්යක්ෂමතාවය කෙරෙහි අපගේ අවධානය තීව්‍ර කළෙමු,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සඳහන් කළේය. “මෙම මුලපිරීම් වල සාර්ථකත්වය අපගේ තිරසාර ශේෂ පත්‍ර වර්ධනය තුළින් මෙන් ම ලාභදායීත්වය වැනි බැංකුවේ වැඩි දියුණු වූ ප්‍රධාන කාර්සාධන අනුපාත තුළින් ද පිළිබිඹු වේ.”

රුපියලේ අගය ඉහළ යාම ණය පොතේ සමස්ත වටිනාකමට බලපෑව ද, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ කර්තව්‍යයට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය වගකීමක් ලෙස සැළකෙන ණය දීමේ කාර්යය වෙනුවෙන් බැංකුවේ අඛණ්ඩව කැපවීම, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අවධාරණය කළේය. “හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් අලාභ සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමට අවශ්‍ය වුවද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නංවාලීම සඳහා අරමුදල් රැස්කිරීමේ කාර්යයේ දී අපි නොසැලී සිටිමු. මූලික බැංකු කටයුතු සඳහා අපගේ කැපවීම නොවෙනස්ව පවතිනවා,” යැයි ඔහු තවදුරටත් පැවසීය.

සමූහය 2024 පළමු භාගය අවසන් කළේ රුපියල් ටි්‍රලියන 1.36 ක දළ ණය සහ අත්තිකාරම් සමඟය. සලකා බලන මාස හය සඳහා මාසිකව රුපියල් බිලියන 11.26 සාමාන්‍ය අගයක ණය ලබාදීම නිසා ණය පොත රුපියල් බිලියන 67.55 ක නැතහොත් 5.21% ක වර්ධනයක් පෙන්වීය. පෙර මාස 12 තුළදී ණය පොතේ වර්ධනය රුපියල් බිලියන 175.77 ක් වූ අතර එහි මාසික සාමාන්‍ය අගය රුපියල් බිලියන 14.65 ක් විය.

සලකා බලන මාස හය තුළදී තැන්පතු වල අගය රුපියල් ටි්‍රලියන 2.19 දක්වා වර්ධනය වූ අතර, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගියද, තැන්පතු  රුපියල් බිලියන 7.50 ක මාසික සාමාන්‍ය වර්ධන අගයක් පෙන්නුම් කර ඇත. තවද, ගෙවී ගිය මාස 12 තුළ තැන්පතුවල මාසික සාමාන්‍ය වර්ධනය රුපියල් බිලියන 19.52 ක් වූ අතර එය  11.96% ක වාර්ෂික වර්ධනයකි.

සමූහයේ මුළු වත්කම් 2023 ජුනි 30 දා සිට රුපියල් බිලියන 228.30 කින් එනම් 9.27% කින් සහ සලකා බලන මාස හය තුළදී රුපියල් බිලියන 34.85 කින් නැතහොත් 1.31% කින්  ඉහළ ගොස් ඇති අතර, තැන්පතුවල වටිනාකම 2024 ජුනි 30 වන විට රුපියල් ටි්‍රලියන 2.690 දක්වා ඉහළ ගියේය.

මාස හයක කාලය තුළ දී සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 77.26 ක් දක්වා 52.92% කින් වර්ධනය වී ඇත. හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් අලාභ සඳහා සමූහය විසින් රුපියල් බිලියන 19.02 ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර එය 2023 වසරේ අනුරූප මාස හය සඳහා වූ අගයට වඩා 43.95% ක වැඩි වීමකි.

සමූහය සලකා බලන මාස හය සඳහා බදු වලට පෙර ලාභය ලෙස රුපියල් බිලියන 29.12 ක් වාර්තා කළ අතර එය 106.62% ක වර්ධනයකි. 2024 පළමු භාගය සඳහා බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 18.90 ක් වූ අතර එය 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව 127.96% ක වර්ධනයකි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව