පේඩ්‍රෝ වතුයායේදී කලහකාරී ලෙස හැසිරුණු තොණ්ඩමන් ඇමතිවරයාට එරෙහිව වහා පියවර ගන්නැයි ලංකා වැවිලි කරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි

The Planters Association of Ceylon

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පසුගියදා නුවරඑළිය පේඩ්‍රෝ වතු යායේදී හැසිරුණු ආකාරය නිතී විරෝධී බවත්, ඔහුගේ එම හැසිරීම දැඩි ලෙස හෙලා දකින බවත් ලංකා වැවිලි කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. අමාත්‍යවරයා විසින් නීතිය හෑල්ලූවට ලක් කරමින් සිදු කළ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම වතූකරයේ ජනතාව තුළ අප්‍රසාදයක් හා බිය ජනක තත්වයක් ඇති කිරීමටද හේතු වී ඇති බව ද ඔවුන් පවසා සිටියි. මේ ආකාරයේ සිදුවීම් යුක්තියේ සහ නීතියේ ගරුත්වයට කැළලක් ඇති කරන අතර කර්මාන්ත පාර්ශවකරුවන්ගේ ආරක්ෂාවට මෙන්ම සුරක්ෂිතතාවයටද එය බරපතල තර්ජනයක් එල්ල කරන බවද සඳහන් කර සිටියි.

 


 

කැලණිවැලි වතු සමාගමේ සේවකයකුට නීතී විරෝධී ආකාරයෙන් පහර දුන් බවට හා සමාගමේ උපකරණවලට හානි කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලද එහි සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කරන ලදී. ඊට බලපෑම් එල්ල කරමින් පසුගිය මැයි 30 වන දා හෝ ආසන්න දිනක තොණ්ඩමන් අමාත්‍යවරයා සහ ආධාරකරුවන් පිරිසක් විසින් වැඩ තහනමට ලක්වූ සේවකයින් නැවත සේවයේ පිහිටුවන ලෙස බල කරමින් මෙම තර්ජන සිදු කොට ඇත. තවද මෙහිදී ඔවුන් තරයේ පවසා ඇත්තේ තේ වගාව නවතා කෝපි වගා කිරීමේ තීරණය වහාම ඉවත් කර ගන්නා ලෙසයි.

ඉන් පසුව විනය පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතව සිටි වැඩ තහනම් කරන ලද සේවකයින් විසින් සිදු කළ එම ක්‍රියාවන්හි බරපතලකම හා සාපරාධී ස්වභාවය හේතුවෙන් පොලිස් පැමිණිල්ලක් ගොනු කළ අතර මේ හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය විසින් වැඩවර්ජන ක්‍රියා මාර්ගයක් කැඳවන ලදී. එහෙත් විනය පරීක්ෂණ අවසන් වූ පසු සමාගම් කළමනාකාරීත්වය විසින් ආයතනික ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට කටයුතු යොදා තිබිණ.

මේ සම්බන්ධයෙන් සහකාර කම්කරු කොමසාරිස් විසින් කැඳවන ලද රැස්වීමකදී ගැටළුකාරී තත්වය විසඳීමට උත්සාහ කළද අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධ තීරණයක් ලබා දීම වෘත්තීය සමිති මඟින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ හේතුවෙන් කැලණිවැලි වතු සමාගමේ කළමනාකාරීත්වය බිය ගැන්වීම අරමුණු කොට ගනිමින් බීමත්ව සිටි, ප්‍රචණ්ඩකාරී පුද්ගල කණ්ඩායමක් යෙදවීමට තොණ්ඩමන් අමාත්‍යවරයා කටයුතු කර ඇත. පසුව පොලීසියේ මැදිහත් වීම මත සමාගම් කළමනාකාරීත්වය නිසි ආරක්ෂාවක් යටතේ එම ස්ථානයෙන් ඉවතට පැමිණෙන ලදී.

ඉන් පසු ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුලු පිරිස පේඩ්‍රෝ වතු යායේ නවතින බව දැනගත් ඇමතිවරයා ඇතුලු පිරිස බලහත්කාරයෙන් එම වත්තට ඇතුලු වී අදාළ නිලධාරීන් කම්හල් පරිශ්‍රය තුළ පැය 4ක කාලයක් නීති විරෝධී ආකාරයෙන් සිරකොට තබා ගන්නා ලදී. එහිදී ඔවුන් තර්ජනය කර සිටියේ අදාළ කම්කරුවන් වහාම සේවයේ පිහිටුවන ලෙසත්, පසු දිනම වැඩ කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසත්ය. අමාත්‍යවරයාගේ නියෝගයට එරෙහිව කටයුතු කරන්නේ නම් ඉදිරියේදී තව දුරටත් කරදර විය හැකි බව ඔවුන් පවසා ඇත.

කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් තොණ්ඩමන් අමාත්‍යවරයා මෙම සිදුවීම සිදු වූ අවස්ථාව තුළ ඉතා පහත් ආකාරයෙන් හැසිරීම සහ ඔහුගේ සහචරයින් කැලණිවැලි වතු සමාගමේ දේපලවලට අනවසරයෙන් ඇතුලු වීම, රාජකාරී කටයුතුවලට බාධා කිරීම, සේවකයන්ට වැඩබිමෙන් ඉවත්වන ලෙස තර්ජනය කිරීම හා බැණ වැදීම වැනි සිදුවීම් රැසක් වීඩියෝ කොටස් වල දක්නට ඇත. තවද පොලීසිය අමාත්‍යවරයාට හා සහචරයින්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගනු ලැබුවහොත් වතු ගිනිබත් කරන බවටද ඔවුන් තර්ජනය කරන ලදී.

අමාත්‍යවරයාගේ කළහකාරී අසෝබන හැසීරීම මධ්‍යයේ වුවද මෙම අසීරු කාලය පුරාවටම සන්සුන්ව හා මනා සංයමකින් කටයුතු කිරීම පිළිබඳව වැවිලිකරුවන්ගේ සංගමය කැලණිවැලි වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතාට ප්‍රශංසා කර සිටී.

එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එතැනට පැමිණීම සහ සිදු වීමට ගිය ජීවිත හා දේපල හානිය වැළැක්වීම සඳහා කැලණිවැලි වතු සමාගමේ කළමනාකාරීත්වය හට අකමැත්තෙන් වුවද තොණ්ඩමන් අමාත්‍යවරයාගේ ඉල්ලීම්වලට එකඟවීමට සිදු විය. බලහත්කාරයෙන් සිදු කරන ලද මෙවැනි ක්‍රියාමාර්ග වතුකරයේ පවතින දැඩි අභියෝග සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරණය කරයි.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් කැලණිවැලි වතු සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව සාමාජිකයා ඔහු මුහුණ දුන් තර්ජන සහ බිය ගැන්වීම් නිසා ඇති වූ දැඩි ආතතිය හේතුවෙන් රෝහල් ගත කෙරිණි. කම්හල් සේවිකාවන්ගේ ‘රතු පොට්ටුව’ ඉවත් කරන ලෙසට වතු පාලනාධිකාරිය ඉල්ලා සිටීම සහ වැටුප් සම්බන්ධව තමා මැදිහත් වන බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැවීමට අමාත්‍යවරයා එතැන් සිට උත්සාහ කළ බවත් වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කර සිටී.

කම්කරුවන් තිදෙනෙකුගේ නීති විරෝධී හැසිරීම පිළිබඳ ආරවුල වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට අමාත්‍යවරයා ගන්නා නිවට උත්සාහය එම සංගමයේ දැඩි විමතියට හේතු වී තිබේ.

තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් සිදු කළ නීති විරෝධී බලපෑම විනා කම්කරුවන් වෙත කිසිදු නීති විරෝධී බලපෑමක් යොදවා නොමැති බව වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි. ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන්ට අනුකූලව අපනයන නිෂ්පාදන අපවිත්‍ර වීම සම්බන්ධයෙන් ISO රෙගුලාසිවලට අනුකූල වීම සඳහා ‘පොට්ටු’ වැනි දෑ නොපැළඳීමට උපදෙස් අවශ්‍ය වේ. එබැවින් එය කලාපීය වැවිලි සමාගම්වල පාලනයෙන් ඔබ්බට ගිය කාරණයකි.

මෙම සිදුවීම මගින් වැවිලි කර්මාන්තය තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවය අවධාරණය කරයි. නීතියේ ආධිපත්‍ය හා සාමය කඩාකප්පල් කරන හෝ වැවිලි කර්මාන්තයේ ආරක්ෂාව අනතුරේ හෙළන ඕනෑම ක්‍රියාවක් වැවිලිකරුවන්ගේ සංගමය තරයේ හෙළා දකී.

වැවිලිකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකා රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසයි. තවද වැවිලි කර්මාන්තය නියෝජනය කරනු ලබන සියලුම පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. වතුකරයේ විශ්වාසය රඳා පවතින්නේ කම්කරුවන්ගේ, කළමනාකාරීත්වයේ සහ ඒ ආශ්‍රිත සියලු දෙනාගේ යහපැවැත්ම ආරක්ෂා කරන ක්‍රියාමාර්ග මත බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ පිළිබඳව වගකිවයුත්තන් වෙත නිසි ක්‍රියාමාර්ග ගන්නා තුරු වැවිලිකරුවන්ගේ සංගමය දැඩි විමසිල්ලෙන් බලා සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව