පිළිකා රෝගීන්ට නැවත නැගී සිටින්නට දිරිය දෙන සොඳුරු දිරියවන්ති සමාජ සත්කාරය

Image -Kums Q&A (LBN)

 



 

 

පිළිකා රෝග සුවපත් කිරීමට නූතන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී ඇතත් සමාජය ඍණාත්මක ආකල්පයකින් ඒ දෙස බලයි. පිළිකාව වැළදුණු පුද්ගලයන් නිරායාසයෙන්ම මානසිකව බිඳ වැටෙන්නේ රෝගය සමග සවිමත්ව සටන් කර සුවපත් විය හැකි ධනාත්මක පැතිකඩ අමතක කරමිනි. ශ්‍රී ලංකාවේ හිසකෙස් පිළිබඳ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා විසින්  ඉන්දිරා  පිළිකා භාරය මෙන්ම අලුත්ගම, බෙන්තොට සහ ගල්කිස්ස සිංහ සමාජය ද අත්වැල් බැද ගනිමින් සොඳුරු දිරියවන්ති වැඩසටහන ආරම්භ කරන ලද්දේ එලෙස කායික හා මානසික බිඳ වැටීම් තුළින් පීඩාවට පත් වන පිළිකා රෝගීන්ට නැවත නැගී සිටිමට  දිරියත්, සවියත් ලබා දීමේ පරමාර්ථය පෙරදැරි කර ගත් ව්‍යාපෘතියක් ලෙසිනි. පිළිකා රෝගය සමග නොබියව සටන් කරමින් ජීවිතය ජය ගන්නට වෙර දරන සොඳුරු දිරියවන්තියන්ට නිසි මග පෙන්වන්නට මෙම සාකච්ඡාව සමග එක් වූයේ ඉන්දිරා පිළිකා භාරයේ ප්‍රධානී වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මියයි.

  1. වර්තමානයේ දී පිළිකා හා සම්බන්ධ සංඛ්‍යාත්මක දත්තයන් කෙසේද?

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා දත්ත අනුව වාර්ෂිකව ආසන්න වශයෙන් කාන්තාවන් 15,500ක් හා පිරිමි 14,000ක් ද පමණ වාර්තා වේ. පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට බහුලව ගොදුරු වන අතර පියයුරු පිළිකාව මෙරට බහුලවම වාර්තා වන පිළිකා රෝගයයි. පියයුරු පිළිකා රෝගීන් ලෙස වසරකට කාන්තාවන් 4,000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන අතර දෛනිකව පියයුරු පිළිකා රෝගීන් 12ක් පමණ හඳුනා ගැනෙයි. මේ හේතුවෙන් දිනකට දෙදෙනෙකු පමණ මිය යාම වාර්තා වීම ඉතා කණගාටුදායකයි.

  1. පිළිකා රෝග අවම කිරීම හා වැළැක්වීමට දියුණු වෛද්‍ය ප්‍රතිකාර පැවතුණත්, සමාජය ඒ පිළිබඳ බියක් හා කනස්සල්ලක් ඇති කර ගැනීම සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

පිළිකාව යන වචනය ඇසූ පමණින් සමාජය තුළ ගොඩ නැගෙන්නේ ඍණාත්මක චිත්‍රයකි. පිළිකා රෝගය වැළදුණොත් මිය යන බවට අපේ සමාජය තුළ තිබෙන දුර්මතය නිසාම බොහෝ දෙනා පිළිකාව යනු හුදෙක් මරණය සමග සිදු කරන සටනක් ලෙස දකියි.  පිළිකාව සම්බන්ධ දුර්මතයන් හා ඍණාත්මක ආකල්ප වෙනස් කිරීමට අප උත්සහ කළ යුතුය.  පිළිකාව පිළිබඳ ධනාත්මක ආකල්පයක් සහ සවිමත් දැක්මකින් ජීවිතයට සාර්ථකව මුහුණ දීමට හැකිය.

  1. පිළිකා රෝගයක් වැළදී ඇති බව හඳුනා ගත් විට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

පිළිකා රෝගයක් එහි මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ඉතාමත් වැදගත්ය. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා හා මුඛ පිළිකා සම්බන්ධ වැඩසටහන්  මාලාව මෙන්ම ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සිදු කරන පියයුරු සායන මගින් ද පිළිකා අවදානමක් සහිත රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනා අදාළ ප්‍රතිකාරයන් වෙත යොමු කරයි. පිළිකා රෝගයක් සඳහා බහුලවම භාවිත කරන ප්‍රතිකාර ක්‍රම 03 වන්නේ, ශල්‍යකර්මයකින් පිළිකා සෛල ඉවත් කිරීම, පිළිකා දූලක ඖෂධ (කීමෝ තෙරපි) සහ විකිරණ ප්‍රතිකාර (රේඩියෝ තෙරපි) ක්‍රමයයි. පිළිකා රෝගයේ ස්වභාවය අනුව රෝගීන්ට ගැළපෙන ප්‍රතිකාර ක්‍රම සපයයි. 

  1. පොදුවේ පිළිකා රෝගයකින් පීඩා විදින රෝගීන් හා පිළිකා රෝගී කාන්තාවන් මුහුණ දෙන කායික සහ මානසික සෞඛ්‍ය ගැටළු මොනවාද?

මහරගම, ඉන්දිරා පිළිකා භාරය ස්ථාපිත කර වසර හතකි. අප ආයතනයට දිනපතා පැමිණෙන රෝගීන් මුහුණ දෙන කායික, මානසික ගැටළු නිරන්තරයෙන්ම අපි දකින්නෙමු. පිළිකා රෝගී බොහෝ කාන්තාවන්, දරුවන් ඇතුළු පවුල පිළිබඳව සිතමින් මානසිකව පීඩා විදියි. ප්‍රතිකාර ලබා ගැනීමේ දී සිදු වන හිසකෙස් ගැලවී යාම, ශරීර බර අඩු වීම, ශල්‍යකර්ම නිසා වන ශරීර වෙනස්කම් පිළිබඳ ද පසුගාමී  ආකල්පයක සිටියි. පිළිකා රෝගයක් යන්න ඇසූ සැනින් මැවෙන්නේ  හිසකෙස් නොමැති පුද්ගල රූපයකි. බටහිර රටවල විලාසිතාවක් ලෙස හිස සම්පූර්ණයෙන්ම මුඩු කළත්, ආසියාතික රටවල වරලසට සුවිශේෂි වටිනාකමක් පවතියි. එබැවින් පිළිකාවෙන් තම හිසකෙස්  අහිමි වී බාහිර ස්වරූපය වෙනස් වීම පිළිබඳ  බියක් මෙරට ජනතාව අතර පවතී.

ඇතැම් විට මෙම ශරීර වෙනස්කම් නිසාම සමාජය සහ පවුල තුළින් ඇයට විවිධ වෙනස්කම් සිදු වේ. පිළිකා රෝගය වැළදුණු පසු එම රෝගියාගේ කායික ශක්තිය ද තරමක් හීන වී යා හැකි නිසා එදිනෙදා කටයුතු කිරීම අසීරු විය හැක.

  1. පිළිකා රෝගියෙකු සිටින පවුල්වල සාමාජිකයන්ට ඔබ ලබා දෙන උපදේශයන් මොනවාද?

පිළිකා රෝගයත් සමග කරන සටනට පිළිකා රෝගියෙකුට පවුල් පරිසරයෙන් ලැබෙන සහයෝගය සවිමත්ව රෝගය සමග සටන් කිරීමට මහත් අස්වැසිල්ලක් වනු නිසැකය. පවුලේ සාමාජිකයන් ඍණාත්මක චින්තනයෙන් බැහැරව රෝගියාගේ මනස ධනාත්මකව පවත්වා ගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතුය. අප ආයතනය හා සහනය උපදේශන සේවාව එක්ව පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් උපදේශන සේවාවක් පවත්වන්නේ ඒ සඳහා සහයක් ලබා දීමේ අරමුණිනි. 

  1. සොඳුරු දිරියවන්තිවැඩසටහන මූලික වශයෙන් අවධානය යොමු කර ඇති ප්‍රධාන කාර්යභාරයන් මොනවාද?

සොඳුරු දිරියවන්ති වැඩසටහන හරහා  අපගේ මූලික  අපේක්ෂාව  පිළිකා රෝගයට ගොදුරු වූ කාන්තාවන්ට නැවතත් සාමාන්‍ය පරිදි ඇගේ ජීවිතයේ ඉදිරියට යාමට සහය වීමයි. ස්වභාවික හිසකෙස් පළඳනා පරිත්‍යාග කිරීමේ වැඩසටහන අප ආරම්භ කළේ 2017දීය. වසර කිහිපකට පෙර අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ දැරියක්, තම හිසකෙස් නොමැතිව නිවසට ‍යාම ප්‍රතික්ෂේප කරමින් හැඬූ අවස්ථාවක, මගේ නැගණිය ජීවත්ව සිටිය දී භාවිත කළ කේෂ පළඳනාවක් ඇයට පරිත්‍යාග කළෙමු. මෙරට පිළිකා රෝගීන් පිළිබඳ අධ්‍යයනය කරමින් ඔවුන්ට කේෂ පළඳනා පරිත්‍යාග කිරීමේ වැඩසටහන ඇරඹුණේ ඉන් අනතුරුවය. ආරම්භයේ දී කේෂ පළඳනා සැකසීම දෑතින් කළ බැවින් මාසයකට සාදා නිම කළේ පළඳනා 30ක් පමණි. අද වන විට ලංකාවේ එකම කේෂ පළඳනා නිෂ්පාදනාගාරය ස්ථාපිත කරමින්, මසකට පළඳනා 340ක් පමණ අපි පිළිකා රෝගීන්ට පරිත්‍යාග කරන්නෙමු. දිවයින පුරා පිහිටි රෝහල් 10ක් යටතේ මාසිකව කේෂ පළඳනා ලබා දීමේ වැඩසටහනක් දියත් කර ඇති බැවින් අවශ්‍ය රෝගීන්ට මහරගමටම නොපැමිණ කේෂ පළඳනා නොමිලේ  ලබා ගැනීමට අවස්ථාව ලැබේ. කේෂ පළඳනා පරිත්‍යාගයෙන් පසු එහි ගුණාත්මකභාවය පිළිබඳ අදහස් ලබා ගැනීමට පසු විපරමක් ද සිදු කරයි.

මේ වන විට ප්‍රමාණවත්ව හිසකෙස් ලැබී ඇති බැවින් ඔබගේ හිසකෙස් පරිත්‍යාගයන් භාර ගැනීම මේ දිනවල සිදු නොවන බව කාරුණිකව සිහිපත් කළ යුතුය.

  1. වෛද්‍යවරියක් මෙන්ම සමාජ සුබ සාධන ක්‍රියාකාරිනියක් ලෙස ඔබතුමියට සමාජයට ලබා දීමට තිබෙන පණිවිඩය කුමක්ද?

සමාජයේ පිළිකාව සමග බැදී ඇති ඍණාත්මක ආකල්ප ඉවත් කළ යුතුය. ශක්තිමත්ව ඒ සමග සටන් කර, නියමිත ඖෂධ ලබා සුවපත් වීමට ඔබට හැකිය. ආයතනයක් ලෙස අපි ඔබට සහයෝගය ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන්ම රැදී සිටින්නෙමු. එබැවින් බිය නොවී රෝගයට සාර්ථකව මුහුණ දීමට ඔබ උත්සහ කළ යුතුයි. එසේම කාන්තාවක් ලෙස, ඔබ පවුල වෙනුවෙන් වෙහෙසෙන අතරම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ද කාලය වෙන් කළ යුතුය. වයස අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂණයක් කිරීම වඩාත් යෝග්‍ය වේ. එමගින් පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනා එහි බලපෑම අවම කළ හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව