පැරිස් ඔලිම්පික් උළෙලේදී ස්පාඤ්ඤ ක්‍රීඩකයාට එරෙහිව විරේන් නෙත්තසිංහ අද දෙවැනි තරගයට එක්වෙයි

1722222347218

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග අංශයේ ‘ජී‘ කාණ්ඩයේ සිය පළමු තරගයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ අද (30) පැරීසියේ La Chappelle Arena හීදී සිය මීළඟ ප්‍රතිවාදියා වන ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් සමඟ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

 



 

මූලික වටයේ සිය දෙවැනි තරගයේදී ස්පාඤ්ඤයේ ඒබියන්ට එරෙහිව තරග වැදීමට පූර්ණ ශාරීරික හා මානසික තත්ත්වයකින් යුතුව පසුවන නෙත්තසිංහ පසුගියදා ලෝක බැඩ්මින්ටන් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරිම්වල අංක 7 ස්ථානයේ පසුවන මැලේසියාවේ සී ජියා ලී සමඟ සිය මංගල ඔලිම්පික් තරගයේදී දැක්වූ දස්කම් වැඩි කතාබහට ලක් වී තිබේ.

මැලේසියාවේ නොම්මර එකේ ක්‍රීඩකයා හමුවේ පිට  පිට තරග වට දෙකකින් 2-0ක් ලෙස පරාජයට පත්වූවද, තමා පරාජය කිරීම දුෂ්කර ප්‍රයත්නයක් බව ඔහු එහිදී පෙන්නුම් කළේය. එය ලෝක බැඩ්මින්ටන් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරිම්වල 62 වැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රීඩකයාට එරෙහිව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සහතික කිරීමේ සාධකයක් ද වේ.

39 හැවිරිදි ඒබියන් පිරිමි ඒකල තරග බිමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වුවද තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගැනීමේ හැකියාව නෙත්තසිංහ සතුව තිබේ. නෙත්තසිංහ සහ ඒබියන් අතර ‘ජී‘ කාණ්ඩයේ දෙවැනි තරගය පැරිස් වේලාවෙන් අද දහවල් 12.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට පමණ) පැවැත්වීමට නියමිතය. පැරිස් ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් තරග අංශයේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේ සෑම කාණ්ඩයකින්ම පෙරමුණට පත්වන ක්‍රීඩකයා පමණි.

පසුගිය ඉරිදා මැලේසියානු ක්‍රීඩකයා සමඟ පැවැති තරගය ඒක පාර්ශ්වික තරගයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා පළ වී තිබුණද මෙම 20 හැවිරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා තරග බිමෙන් ඉවත්වීමට පෙර පළපුරුදු මැලේසියානු ප්‍රතිවාදියාට අනපේක්ෂිත සටනක් ලබා දුන්නේය. පැරිස් ඔලිම්පික් 2024ට සෘජු සුදුසුකම් ලැබූ ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස ඔලිම්පික් වරම් ලැබූ නෙත්තසිංහ අත්දැකීම් බහුල ප්‍රතිවාදියට එම තරගයේ කිසිදු අවස්ථාවක බුරුලක් ලබා දුන්නේ නැත.

එම තරගයේ තරග වට දෙකේදිම නෙත්තසිංහ සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර, ප්‍රථම ලකුණ රැස් කරමින් ප්‍රතිවාදියාට දැඩි අභියෝගයක් එල්ල කළේය. එය ප්‍රතිවාදියාට එරෙහිව ජයග්‍රහණයක් කරා යෑමේ උද්යෝගයක් ද ඇති කර තිබිණි.

වත්මන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියෙන්ම සිටින නෙත්තසිංහ එම තරග වට දෙකේදිම ආරම්භය හොඳින් රඳවා තබා ගත් අතර, ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන සිටින මැලේසියානු ක්‍රීඩකයා හමුවේ පළමු වටයේ පළමු ලකුණු දෙක ලබා ගැනීම සිහිනයක් සැබෑවීමක් බඳු විය. එහෙත් සී ජියා අවසානයේදී නෙත්තසිංහ අබිබවා ගියේ සිය අත්දැකීම් භාවිතයට ගනිමිනි. ඒ අනුව පළමු වටය නිමාවට පත්වූයේ ලකුණු 21-14කින් මැලේසියානු ක්‍රීඩකයාට ජය හිමිකර දෙමිනි.

දෙවැනි වටයේදී මැලේසියානු ක්‍රීඩකයා ලකුණු 21-12ක ජයක් වාර්තා කළ ද, ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයාගේ සටන්කාමීත්වය වඩාත් කැපී පෙනුණි. දෙවැනි වටයේදී ද පළමුව ලකුණු ලැබීමට සමත් වූ නෙත්තසිංහ කරට කර සටනක නිරත වූ අතර, එක් අවස්ථාවක දෙදෙනාම ලකුණු 8 බැගින් ලබා සිටියහ. නමුත් සිය පළපුරුද්ද කදිමට භාවිතයට ගත් මැලේසියානු ක්‍රීඩකයා ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 70 වැනි ස්ථානයේ පසුවන නෙත්තසිංහගේ සියලු උත්සාහයන් අහුරා දැමුවේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව