ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, වඩාත් උසස් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ‘රාජ්‍ය සේවා අභිමන්’ දියත් කරයි

Image - Prime Group unveils innovative Public-Private collaboration initiative to enhance Government service excellence (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරයක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group), මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘රාජ්‍ය සේවා අභිමන්’ නමින් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සමග එක්ව සැලසුම් කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා වැඩමුළු මාලාවක් පැවැත්වෙනු ඇත. මෙම වැඩමුළුවලදී මෙරට රාජ්‍ය සේවකයන් දැනුවත් කරමින් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය.
 



 
මෙහි සමාරම්භක වැඩසටහන 2025 පෙබරවාරි 19 වන දින ගම්පහ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ගම්පහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක්ද, ප්‍රයිම් සමූහය නියෝජනය කළ නිලධාරීහු පිරිසක් සහභාගී වූ අතර, මධ්‍යම පළාත් පරීක්ෂණ නිලධාරී උදාන වීරසිංහ මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. ඉදිරියේදී මෙම වැඩසටහන තවත් ප්‍රධාන පෙළේ නගර සභා 7 කදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ලෝචනා බාලසූරිය මහත්මිය පැවසුවේ, මේ ආකාරයට පෞද්ගලික අංශය හා පළාත් පාලන ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීමට පියවර ගැනීම වෙනුවෙන් තමන් ප්‍රයිම් සමූහයට ස්තූතිවන්ත වන බවයි. නව්‍ය ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන් මාලාව මගින් රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ යනු නිසැකය. මෙම වැඩසටහන යටතේ ලැබෙන දැනුම හා පුහුණුව රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස රාජකාරී කිරීමට උපකාරී වනු ඇති බවත්, එමගින් රටේ සියලුම ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ අත් වනු ඇති බවත් ලෝචනා බාලසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සේවා විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීම ප්‍රයිම් සමූහයේ ප්‍රධානතම අරමුණු අතරට ඇතුළත් වී තිබේ. මෙම වැඩසටහන තුළදී පළාත් පාලන නීතිය මෙන්ම මුල්‍ය නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් ගම්පහ මහ නගර සභාවේ නිලධාරීන් දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන් මාලාව තුළදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂඥයන්ගේ මෙහෙයවීම යටතේ පුහුණු වැඩමුළු පැවැත්වීමටත්, ඔවුන්ට අවශ්‍ය සම්පත් සහ කාර්ය සම්පාදන සහය ලබාදීමටත් කටයුතු යොදා තිබේ. රජයේ නිලධාරීන් වෙනුවෙන් මෙබඳු වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීම තුළින් වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විශ්වාස කරයි.

ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවට සැබෑම දියුණුවක් අත්කර ගැනීමට නම් පෞද්ගලික අංශය සහ රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව වර්ධනය විය යුතු බවයි. රටේ කර්මාන්තවල පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ දැනුම හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. මෙම වැඩසටහන් මාලාව තුළදී ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ක්‍රමවේදයන් සහ නව්‍ය ප්‍රවේශයන් සම්බන්ධයෙන් රාජ්‍ය අංශය දැනුවත් කෙරේ. මේ ඔස්සේ රටේ කර්මාන්තවලටත් පුරවැසියන්ටත් ප්‍රතිලාභ හිමි වන, වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පළාත් පාලන සම්ප්‍රදායක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා විශ්වාසය පළකළේය.

රාජ්‍ය සේවයේ යහපත වෙනුවෙන් ප්‍රයිම් සමූහය විසින් ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන තුළදී රාජ්‍ය සේවකයන්ට නවීන විධික්‍රම පිළිබඳ දැනුම හා පුහුණුව ලබාදෙනු ඇති අතර, එමගින් ඔවුන්ට වඩාත් කාර්යක්ෂම ලෙස තම රාජකාරි ඉටුකිරීමට හැකි වනු ඇත. එමෙන්ම මෙමගින් වඩාත් ඵලදායී පළාත් පාලන සම්ප්‍රදායක් නිර්මාණය වන නිසා එය මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයටද ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු නිසැකය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව