නැගෙනහිර පළාත් සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

Thidassa Irushika (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. මේ මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා මඩකලපුව ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම ජනවාරි 12 වැනිදා අවසන් කෙරේ.  ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු ශ්‍රේණියේ තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර, ඒ සඳහා විවිධ කාණ්ඩ යටතේ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 



 
නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ වයස් කාණ්ඩය, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය, අවුරුදු 100 ඒකාබද්ධ වයස් කාණ්ඩය සමඟ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත අංශයේ තරග කාණ්ඩය ඇතුළත් ය. මීට අමතරව කාන්තා හා පිරිමි ඒකල තරග අංශයේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් සඳහා පළඟ ශූරතා තරග ඉසව්වක් ද මෙම තරගාවලියට ඇතුළත් වේ.

නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය ජනවාරි 23 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වෙන අතර, අනතුරුව මූලික වටයේ තරග ආරම්භ වේ. එම තරග ජනවාරි 26 දා අර්ධ අවසන් පූර්ව වටය හා අවසන් පූර්ව වටය දක්වා පැවැත්වෙනු ඇත. උද්වේගකර අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරග ජනවාරි 27 වැනිදා පැවැත්වෙන අතර, එදින පස්වරුවේ සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.

නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ තරග පෙළගැස්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ජනවාරි 15 වැනිදා වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරිම් අනුව සිදුවන අතර, එය ජනවාරි 17 වැනිදා පෙරවරු 11.00ට කොළඹ 7, කේම්බ්‍රිජ් ටෙරසයේ අංක 2 ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහ අනුශූරයන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිතය. තරගාවලියේ සංවිධායක කමිටුව තීරණයට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

අන්තර්ජාලය ඔස්සේ හෝ 0761759017 දුරකතන අංකයෙන් සදීෂ ආදිත්‍ය සම්බන්ධ කරමින් මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් බාර දිය යුතු අතර,  0773605967, 0772177479 හෝ 0774937955 දුරකතන අංක මගින් තරගාවලියේ සංවිධායක මණ්ඩලය අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. මේ පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

Mobil, Li Ning, McFoil, 3M, GAC සහ FIMA නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව