දැනට මතුව ඇති ‘ආර්ථික ව්‍යවසනය’ හේතු කොටගෙන පෞද්ගලික අංශය ව්‍යවස්ථා සම්පාදකයින්ගෙන් කඩිනම් විසඳුම් ඉල්ලා සිටී

Joint Media Conference

 



 

 

 

අපනයන, ආනයන සහ භාණ්ඩ ප‍්‍රවාහන යන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පෞද්ගලික අංශය නියෝජනය කරන සමාගම්වලට අයත් සංගම් 23ක් දැනට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බව අනතුරු ඇඟවීය.

‘‘මෙම තත්වයට සුදුසු විසඳුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමටත් පසුව මෙම තත්වය මැඩපැවැත්වීමට වහාම ක‍්‍රියාමාර්ග ගැනීමටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වගකීමෙන් සහ දැඩි අධිෂ්ඨානශීලීව ක‍්‍රියා කළ යුතුයි.’’ යැයි ඔවුන් පවසයි.

ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගම් අනතුරු ඇඟවමින් පවසා සිටියේ වත්මන් තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් වෙළඳ භාණ්ඩ සහ අපනයන හරහා ඔවුන්ගේ සමාගම් සෑම වසරකම සාමූහිකව උපයනු ලබන ඩොලර් බිලියන 16.7 ක පමණ ආදායම ඉදිරියේදී නවතිනු ඇති බවයි. තවද, මිලියන 4.2 කට වැඩි කම්කරුවන් නැතහොත් ශ‍්‍රී ලංකාවේ සමස්ත වැඩකරන ජනතාවගෙන් අඩකට වැඩි පිරිසකගේ ජීවනෝපායයන්ට ද මෙම තත්වය දැඩි ලෙස බලපානු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී. මේ වන විට අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන ආනයනය කිරීමට හා විදේශ විනිමය පිළිබඳව දැඩි අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී මෙම තත්වය බරපතල ප‍්‍රතිවිපාක ගෙන දෙන්නක් බව එම සංගම් අවධාරණය කරයි.

මේ අතර, ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීමේ අවදානමක් ඇති බවට ද ඔවුන් අනතුරු අඟවයි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වනු ඇති අතර විරැකියාව සහ සමාජ අසහනය ඉහළ යන බවක් ද පෙනෙන්ට තිබෙන බව ඔවුන් පවසයි. නැව් භාණ්ඩ ප‍්‍රවාහනය සහ ගුවන්සේවාවල අඩු වීමක් ද පෙන්නුම් කෙරෙන අතර එමඟින් සැපයුම් දාමයන්වලට, අපනයනකරුවන්ගේ සහ ආනයනකරුවන්ගේ මෙහෙයුම්වලට බාධාවන් එල්ල වනු ඇත. මෙම තත්වයට ඉක්මනින් විසඳුම් ලබා නොදුනහොත් මූල්‍ය අංශයේ ඇති විය හැකි අස්ථාවරත්වය පිළිබඳව ද එම සංගම් දැඩි කනස්සල්ලට පත්ව සිටියි.

පෞද්ගලික අංශයට අයත් මෙම සංගම් විසින් කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට යවන ලද ලිපියක් ද මෙම මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරන ලදී. මෙරට ආර්ථිකයේ සියලූම ප‍්‍රධාන ක්ෂේත‍්‍ර නියෝජනය කරන ප‍්‍රධාන සංගම් 38ක් විසින් එම ලිපියට අත්සන් කර ඇත. මේ අවස්ථාවේදී සියලූ මතභේද පසෙකලා, අවශ්‍ය නම් වහාම අන්තර්වාර රජයක් පිහිටුවා ශ්‍රී ලාංකේය ජනතාව හා ජාතික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස සියලූම දේශපාලන පක්ෂවල නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන් වේ.

මෙහිදී අදහස් දක්වමින් Shippers’ Academy Colombo හි ප‍්‍රධාන විධායක නිළධාරී සහ ශ‍්‍රී ලංකා රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරාල මහතා පැවසුවේ ‘‘වර්තමාන දේශපාලන හා ආර්ථික අර්බුදය තවදුරටත් ඉදිරියට යාමට ඉඩ දිය නොහැකියි. අපට සතියක් ඇතුළත කැබිනට් මණ්ඩලයක් සහ අතුරු පාලන ආණ්ඩුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ රජය මෙයට නිසි ක‍්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී රටට හා ජනතාවට සිදු විය හැකි භයානක ප‍්‍රතිවිපාක ගැන සැලකිල්ලට ගනිමින් සියලූ දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් පුද්ගලික අංශය එක්ව මෙයට කඩිනම් විසඳුමක් ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

‘‘ඇඟළුම් වැනි ප‍්‍රධාන අපනයන අංශ විසින් පවතින බාධාවන් අවම කර නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හා අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයමින් මෙරට දහස් ගණනකගේ රැකියා සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට උපරිමයෙන් කටයුතු කරමින් සිටිනවා.’’ යනුවෙන් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසීය. ”නමුත් මෙම තත්වය නිසා ඔවුන් ද ඉතා කම්පනයට පත්ව සිටින අතර අපනයන අංශ ඇතුළු සියලූ කර්මාන්තයන් මෙයින් දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. මේ සඳහා අපට වහා විසඳුමක් අවශ්‍යයි.”

‘‘මෙම දේශපාලන අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ වහා විසඳුම් ලබා දිය යුතු ආර්ථික අභියෝග සඳහා වන අවධානය ඉවත්ව තිබෙනවා. එනිසා මෙරට ප‍්‍රධාන අංශ, රැකියා සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා උපරිම ප‍්‍රමුඛතාවය දිය යුතුයි.’’ යනුවෙන් කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා ප‍්‍රකාශ කළේය. ‘‘මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම පහසු කාර්යයක් නොවේ. තවදුරටත් ප‍්‍රමාද නොවී අප ක‍්‍රියාත්මක කළ යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන් සතුව සැලසුමක් තිබෙනවා.’’

මේ සඳහා කඩිනමින් ගත යුතු ක‍්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීමත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සිදු කරන සාකච්ඡාවලදී ශ‍්‍රී ලංකාවේ සහායට සහ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් සහාය ලබා ගැනීම සඳහා උපදේශකයින් පත් කිරීමේ යෝජනාවක් ද සංගම් ඉදිරිපත් කළේය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව