දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය විසින් නිර්මාණය කරන ලද වීඩියෝවකට සුමති සම්මාන හිමි වේ

Picture 02 (LBN)

පසුගියදා පැවති 30 වැනි සුමති සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ඩිජිටල් වෙළඳ දැන්වීම’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය සමත් විය. මෙම සම්මානය හිමි වූයේ ‘ළමා අපචාර වළකමු! එය වැඩිහිටි ඔබේත් මගේත් වගකීමයි’ යන තේමාව යටතේ නිර්මාණය කරන ලද වීඩියෝව වෙනුවෙනි. ඇතැම් විට සුරක්ෂිත ලෙස පෙනෙන ස්ථානවලදී පවා දරුවන් අනාරක්ෂිත විය හැකි බැවින්, දරුවන් පවසන දේවල්වලට අවධානයෙන් සවන් දී ඒවා තේරුම් ගැනීමට උත්සාහ කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් මෙම වීඩියෝව නිර්මාණය කරන ලදි.



ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානයෙහි අරමුණ වන්නේ, නිසි රැකවරණය හා සහයෝගය හිමි වන පසුබිමක් තුළ හැදීවැඩීමට සෑම දරුවෙකුටම අවස්ථාව උදාකර දීමය. එම අරමුණ ඔස්සේ මෙම වීඩියෝව නිර්මාණය කරන ලද්දේ SOS ළමා ගම්මාන තුළ ජීවත් වන දරුවන් වෙනුවෙන් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත දරු පරපුර වෙනුවෙනි. එමෙන්ම එය දරුවන්ගේ සහ නව යොවුන් තරුණ තරුණියන්ගේ හිමිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. මෙම ප්‍රධාන පණිවිඩ සාර්ථක ලෙස සන්නිවේදනය කිරීමට සමත් වීම නිසා මෙන්ම, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව සමාජයේ අවධානය යොමුකරවීම සඳහා නිර්මාණශීලී ලෙස කථා කලාව සහ දෘශ්‍ය සන්නිවේදන ක්‍රමවේදයන් යොදාගැනීම නිසා මෙම වීඩියෝවට සුමති සම්මාන හිමි විය.

“මෙය හුදෙක් සම්මානයකට එහා ගිය ඇගයීමක්. එය දරුවන් වෙනුවෙන් ලද ජයග්‍රහණයක්. හඬක් නොනගන පිරිසක් වෙනුවෙන් නැගූ හඬකට ලැබුණු පිළිගැනීමක්. දරුවන්ගේ සුභසාධනය සලසන සංවිධානයක් වශයෙන් අපගේ ඉලක්කය වන්නේ, සෑම දරුවෙකුටම නිසි රැකවරණය සහ ගෞරවය සහිතව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ‘කතන්දර කියාදීම’ සාර්ථක ලෙස යොදාගත හැකි බව අප දුටුවා. මෙවැනි නිර්මාණ සිදුකිරීම සඳහා අප පොළඹවන්නේ දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීම සඳහා අප තුළ ඇති උනන්දුවයි. ඒ නිසා මෙම ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුත්තේ දරුවන්ටයි.”  ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසීය.

මෙම සම්මානය ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයෙහි සමස්ත කාර්ය මණ්ඩලය මෙන්ම එහි නිර්මාණශීලී කටයුතු සඳහා දායක වන්නන්, ස්වේච්ඡා සේවකයන්, දායකත්වය සපයන්නන් සහ වැඩසටහන පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන්නන් ඇතුළුව එහි මෙහෙවරට නන් අයුරින් දායක වන සියලුම දෙනා වෙත පිදුණු ගෞරවයකි. මේ ආකාරයට කිසිදු දරුවෙකු අත්හැර දැමීමට ලක් නොවන සහ, සෑම දරුවෙකුටම නිසි ආදරය හා රැකවරණය යටතේ හැදීවැඩී රටට වැඩදායක පුරවැසියන් බවට පත් වීමට හැකි වන පසුබිමක් නිර්මාණය කිරීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ ලබාදෙන ඒ මහඟු දායකත්වය නිසාවෙනි.

සුමති සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ පැරණිම සහ ප්‍රමුඛතම රූපවාහිනී සම්මාන උළෙලකි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී කලාවේ හා කර්මාන්තයේ උන්නතියට එමගින් සුවිශාල මෙහෙවරක් ඉටු වේ.

SOS ළමා ගම්මාන යනු, දෙමාපිය රැකවරණය අහිමි වූ හෝ අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටින දරුවන්ට පවුලකට සමාන රැකවරණයක් යටතේ හැදීවැඩීමට අවස්ථාව ලබා දීම අරමුණු කරගත් සුවිශේෂී සංවිධානයකි. මේ වන විට දිවයිනේ ගම්මාන 6 ක, නිවාස 72 ක් හරහා එම සංවිධානයෙහි මෙහෙවර ක්‍රියාත්මක වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.soschildrensvillages.lk වෙත පිවිසෙන්න.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව