ඩෙමෝ දිනය 2022 හිදී හරිත බලශක්ති නවෝත්පාදන අදහස් කලඑලි බසී

Demo Day 2022 (3)

 



 

 

 

පෙබරවාරි 2022: කොළඹ, ශ්‍රී ලංකාව: බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි “ඩෙමෝ දිනය” ආරම්භයත් සමඟම හරිත බලශක්ති ශුරතාවයේ (Green Energy Champion (GEC)) සිව් වන සහ අවසාන අදියර කරා ලඟා වී ඇත. ඩෙමෝ දිනයේ දී තෝරාගත් හරිත බලශක්ති නවෝත්පාදකයන් කණ්ඩායම් පහක්- එනම් එකෝස්ටීම් (Ecosteem), සනෝටා (Sanota), රෝද (Rhoda), රූට් සෝනාර් (Route Sonar) සහ එකෝ ටෙක් බේස් (Eco Tech Base)–විසින් තම නව අදහස් සහ විසඳුම් ජාත්‍යන්තර සහ දේශීය කර්මාන්ත පුරෝගාමීන්, ආයෝජකයන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාර විධායකයන් සහ නොයෙක් සම්භාවනීය අමුත්තන්ගෙන් සැදුම්ලත් ප්‍රේක්ෂක සභාවක් වෙත ඉදිරිපත් කරන ලදී.

හරිත බලශක්ති ශුරතාවය යනු ශ්‍රී ලාංකික නව ව්‍යවසායකයන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සතු නව්‍යකරණ අදහස් හඳුනා ගැනීම අරමුණ කරගත් ව්‍යාපෘතියකි. ගමන් මාර්ග ප්‍රශස්තකරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රොනික මෝටර් සයිකලය වැනි ස්මාර්ට් ප්‍රවාහන විසඳුම්, දැරිය හැකි මිලැති සූර්ය පැනල සහ උණු වතුර පද්ධති, ගෘහස්ථ කාබනික පොහොර, සහ ජීව වායු විසඳුම් ඇතුළු පුළුල් පරාසයක නවෝත්පාදන එහිදී කිරුළු පැළැඳීය.

GEC හි ඩෙමෝ දිනය 2022 පෙබරවාරි 3 වන දින සජීවීව විකාශය කරන ලද අතර, GIZ Sri Lanka හි දේශීය අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටියාන එයින්ෆෙල්ඩ් විසින් සිදුකළ උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ගෞරවනීය අමුත්තන් වශයෙන් එක්වූ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති, හොල්ගර් ෂූබර්ට් සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල යන මහත්වරු උත්සව සභාව ඇමතූහ.

ශ්‍රී ලංකාව 2050 වන විට කාබන් විමෝචන වලින් තොර දැයක් කරා යාමේ වැදගත් ගමන අරඹා තිබෙනවා. මේ ගමනේදී 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය 70%ක් දක්වා වැඩි කිරීමට ඉලක්කයක් සකසා තිබෙනවා. ජර්මනියේ ෆෙඩරල් විදේශ කටයුතු කාර්යාලය කාලීන හා වැදගත් ව්‍යාපෘතියක් වන හරිත බලශක්ති ශුරතාවය ක්‍රියාත්මක කරමින් අප සමඟ අත්වැල් බැඳ ගැනීම ගැන අපි සතුටු වෙනවා. හරිත බලශක්ති නවෝත්පාදන සිදු කරන ජයග්‍රාහී නව ව්‍යවසායකයින් පස් දෙනාට සහ හරිත ශ්‍රී ලංකාවක් සඳහා ඔවුන්ගේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අදහස් සහ විසඳුම් වෙනුවෙන් මම සුබ පතනවා,” තම ප්‍රධාන දේශනයේ දී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති සේපාල මහතා පැවසීය.

නව ජර්මානු රජය දේශගුණික විපර්යාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇති බව සිය දේශනයේදී තානාපති ෂූබර්ට් පෙන්වා දුන්නේය. ජයග්‍රාහකයින් පස් දෙනාට සුබ පැතුම් එක් කරමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය, “ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ දැනට හඳුනා නොගත් නව නිර්මාණාත්මක අදහස් තිබෙන බව හරිත බලශක්ති ශුරතාවය සෑම වසරකම අපිට පෙන්වා දෙනවා. හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී ව්‍යවසායකයින් සහ පෞද්ගලික අංශය බොහොම වැදගත් වෙනවා. නිවැරදි ප්‍රතිපත්ති රාමු යටතේ සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබන නවෝත්පාදනයන් සමග ඉතා කෙටි කාල රාමුවක් තුළ තිරසාර විසඳුම් යොදවන්න පුළුවන්.”

එකෝස්ටීම් (Ecosteem), සනෝටා (Sanota), රෝද (Rhoda), රූට් සෝනාර් (Route Sonar) සහ එකෝ ටෙක් බේස් (Eco Tech Base) විසින් මෙම අවස්ථාවට රැස්ව සිටි ආයෝජකයින් සහ හවුල්කාර ජාලය වෙත ඔවුන්ගේ ව්‍යාපාරික විසඳුම් ඉදිරිපත් කළ අතර, ප්‍රධාන හරිත බලශක්ති පාර්ශවකරුවන් අතර සන්ධාන සහ හවුල්කාරිත්වයන් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සංවිධානය කර සැසිය සමඟ ඩෙමෝ දිනයේ අවසානය සනිටුහන් විය.

2021 වසර තුළදී, හරිත බලශක්ති නවෝත්පාදකයන් පස්දෙනා Hatch and Good Life X (GLX) සමග සාර්ථක සය මාසික පුහුණු වැඩසටහනකට සහභාගී වූ අතර එය ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය මනාව සකස් කර ගැනීමට, ඔවුන්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීමට සහ හරිත බලශක්ති පරිසර පද්ධතිය තුළ ශක්තිමත් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී විය. කීර්තිමත් ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ ධාරිතා සංවර්ධනය සහ උපදේශනයෙන් පසුව, කණ්ඩායම් පහ තම ව්‍යාපාර තවදුරටත් දියුණු කර ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතාවන්ගෙන් සවි බල ගැන්වෙනු ලබන අතරම පරිසරයට, ප්‍රජාවට මෙන්ම ආර්ථිකයට ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.

‘හරිත බලශක්ති ශූරතාවය’ යනු හරිත බලශක්ති විප්ලවයට නායකත්වය දෙන නවෝත්පාදකයින්ට සහාය වන වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය ජර්මානු ෆෙඩරල් විදේශ කටයුතු කාර්යාලය විසින් ආරම්භ කරන ලද අතර, Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH ආයතනය විසින් සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත සහ වාණිජ නියෝජිත පිරිස  එක්ව ක්‍රියාත්මක කරන ලද්දකි.

වැඩි විස්තර සඳහා කරුණාකර www.greenenergychampion.lk වෙත පිවිසෙන්න. facebook.com/greenenergychampion and instagram.com/greenenergychampion/ වෙත පිවිස අපව follow කරන්න.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව