ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle වෙතින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා ‘Start-Up-Cycle’ නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක්

Start-upcycle - Sinhala (LBN)

 



 

 

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරි ගැන්වීමේ වැඩසටහන වන John Keells X සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වන John Keells Research සමග එක් වී, Start-Up-Cycle නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2023 අගෝස්තු 21 දින නිල වශයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනේ අරමුණ එන්නේ, ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සඳහා දීර්ඝකාලීන විසඳුම් සොයාගැනීමට නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දිරිගැන්වීම ය. මෙහිදී මෙරට ව්‍යාපාර විසින්, ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් අපතේ යාම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ගැටලු ප්‍රකාශයන් (Problem statements) සඳහා විසඳුම් යෝජනා කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඒ අතරින් වඩාත්ම ඵලදායී විසඳුම් යෝජනා කරන නවෝත්පාදකයන්ට සහ ව්‍යවසායකයන්ට තම යෝජනා ප්‍රයෝගික මට්ටමට දියුණු කිරීම සඳහා Start-Up-Cycle වෙතින් සහය හා මගපෙන්වීම හිමි වනු ඇති අතර, ඒ ඔස්සේ ලෝකය තුළ සැබෑ වෙනසක් ඇති කළ හැකි පුරෝගාමීන් පිරිසක් නිර්මාණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය පිටුදැකීමට මහෝපකාරී වන විසඳුම් මාලාවක් හඳුන්වා දීමටත් Plasticcycle බලාපොරොත්තු වෙයි.

මේ වන විට ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් බොහෝ දෙනෙකු, තිරසාර ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමටත් ක්‍රියාවට නැංවීමටත් මහත් උනන්දුවකින් කටයුතු කරනු පෙනේ. කෙසේ නමුත් මෑත කාලීනව, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළඳාම්, සත්කාරක සේවා සහ පාරිභෝගික ආහාරපාන ක්ෂේත්‍රයන්ට ප්ලාස්ටික් සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු විය. රටේ තාක්ෂණික දියුණුව සීමා සහිත වීම සහ ඵලදායී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම ගැටලු විසඳීම වඩාත් දුෂ්කර කාර්යයක් බවට පත් වී තිබේ. Start-Up-Cycle වැඩසටහන ක්‍රියාවට නංවන ලද්දේ මෙම දුෂ්කරතාව අවම කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි.

අදියර හතරක් යටතේ මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී වැඩසටහනට සහභාගී වන්නන්ට පාරිභෝගික වෙළඳාම්, සත්කාරක සේවා සහ පාරිභෝගික ආහාරපාන යන ක්ෂේත්‍රවල දී තමන් මුහුණ දෙන ප්ලාස්ටික් සම්බන්ධ අභියෝගයන් පදනම් කරගත් ගැටලු ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ. මෙම ක්ෂේත්‍රයන්ට විශේෂ වූ ගැටලුවලට නිර්මාණශීලී හා තිරසාර විසඳුම් සොයාගැනීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.

වැඩසටහනට ඉදිරිපත් වන සියලුම දෙනා, නිශ්චිත ක්‍රියාපටිපාටියකට අනුව දැඩි සමීක්ෂණ ක්‍රියාවලියකට භාජනය කෙරෙනු ඇත. මෙමගින් කෙටි-ලැයිස්තුගත කෙරෙන අයදුම්කරුවන්ට, සිය ගැටලු ප්‍රකාශයන්ට අදාළ වන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන ව්‍යාපාර කිහිපයක හිමිකරුවන් හා ප්‍රධානීන් හමු වී ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට විශේෂ අවස්ථාවක් හිමි වේ. මෙහිදී ඔවුන්ට තම ගැටලු සම්බන්ධයෙන් එම ප්‍රධානීන් සමග දීර්ඝව සාකච්ඡා කර, වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇත. ඉන් අනතුරුව සති 6 ක විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වනු ලබන අතර එහිදී නීති, මූල්‍ය, ව්‍යාපාර ක්‍රියාවලි සහ අලෙවිකරණ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පිරිසක් විසින් වැඩසටහනට සහභාගී වන්නන්ට අවම ශක්‍යතා නිෂ්පාදන (Minimum Viable Products – MVP) වැඩිදියුණු කිරීම සඳහා මගපෙන්වනු ලැබේ.

මෙම අභියෝගතා වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය මැඩලීමේ උත්සාහය පරිවර්තනීය වෙනසකට ලක් වනු ඇතැයි Plasticcycle බලාපොරොත්තු වෙයි.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.Plasticcycle.lk/startupcycle.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිඞ්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව