
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණි.
කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන SARP ව්‍යාපෘතිය, 2022 සිට 2027 දක්වා වසර හයක කාලයක් පුරා ක්‍රියාත්මක වන්නකි. මෙහි සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 82ක් පමණ වේ. අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, මාතලේ, වවුනියාව සහ මන්නාරම යන දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්කවල ග්‍රාමීය පවුල්වල වෙළෙඳපොළ සහභාගීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම කෙරෙහි මෙමඟින් අවධානය යොමු කරයි. විශේෂයෙන් මල්වතු ඔය, මී ඔය සහ දැදුරු ඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශ මෙහිදී ආවරණය වේ.
IFAD මූල්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, ව්‍යාපෘති පිරිවැයෙන් 45%ක් දක්වා ප්‍රතිපාදන ආධාර ලෙස ලබා දෙන අතර, ඉතිරි 55%ක ප්‍රමාණය ප්‍රතිලාභීන් විසින් සපයා ගත යුතුය. බොහෝ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ට මෙම මූල්‍ය දායකත්වය සපයා ගැනීමේදී ඇති විය හැකි දුෂ්කරතා හඳුනා ගනිමින්, එම මූල්‍ය පරතරය පියවා ගැනීම සඳහා සහනදායී ණය පහසුකම් ලබා දීමට SDB බැංකුව ඉදිරිපත් වී ඇත. මෙම සහයෝගීතාවය හරහා ග්‍රාමීය ව්‍යවසායකයින්ට සිය දායකත්වය සපුරාලීමටත්, තිරසාර කෘෂි ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් අවස්ථාව සැලසේ.
SDB බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහ සමුපකාර අංශ හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, බැංකුවේ සම්මත ණය ප්‍රතිපත්ති සහ නිර්ණායකයන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. අනුමත යෝජනා ක්‍රම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන බැංකුවේ අරමුදල් සහ පවතින ණය මාර්ග ඔස්සේ ව්‍යූහාත්මකව සහ වගකීම් සහගතව පිරිනැමීමට බැංකුව කටයුතු කරයි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම බත්තරමුල්ලේ පිහිටි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. SARP ව්‍යාපෘතිය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර, SDB බැංකුව වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා අත්සන් තැබීය. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ලතීෂා පී. ලියනගේ මහත්මිය සහ දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය: “පැහැදිලි කෘෂිකාර්මික උපායමාර්ගයක් සහිතව ජාතික සංවර්ධනය ශක්තිමත් කිරීමට කැපී පෙනෙන අවධානයක් යොමු කරන බැංකුවක් ලෙස, SARP සමඟ ඇති කරගත් මෙම සබඳතාවය ගොවි ජනතාවට සහය වීමට අප සතු කැපවීම තවදුරටත් තහවුරු කරන්නක්. සහනදායී මූල්‍ය විසඳුම් මෙන්ම මූල්‍ය නොවන සහයෝගයන් ලබා දීම හරහා කෘෂිකාර්මික අංශයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමත්, අවදානම් සහිත කලාපවල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමත් අපගේ අරමුණයි.”
SARP ව්‍යාපෘතියේ ග්‍රාමීය මූල්‍ය විශේෂඥ අනුර දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, කෘෂිකාර්මික මූල්‍යකරණය සම්බන්ධයෙන් සුවිශේෂී උපායමාර්ගයක් සහිත SDB බැංකුව වැනි ආයතනයක් සමඟ අත්වැල් බැඳගැනීම හරහා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම වඩාත් ශක්තිමත් වන බවයි.
මෙම උපායමාර්ගික සහයෝගීතාවය හරහා මෙතෙක් බැංකු සේවා නිසි ලෙස ළඟා නොවූ කෘෂිකාර්මික වෙළෙඳපොළ කොටස් වෙත සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට SDB බැංකුව අපේක්ෂා කරයි. එමගින් ග්‍රාමීය ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ තිරසාර සංවර්ධනයට සහාය වීමටත් බැංකුව නිරතුරුවම කැපවී සිටියි.


