ගස් ලක්ෂයක ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින් කොමර්ෂල් බැංකුවෙන් තවත් ගස් ලක්ෂයක් සිටුවීමට ප්‍රතිඥාවක්

Completion of 100K trees project (LBN)

කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා තෝරාගත් ස්ථානවල සිදු කළ දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතිය සැලසුම් කර ගත් කාලයට පෙර අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගස් 100,000 කින් පොහොසත් වූ අතර ඉදිරි මාස 12 තුළ තවත් ගස් 100,000 ක් සිටුවීමට බැංකුව විසින් සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව, වසර තුනක් පුරා ක්‍රියාත්මක කිරීමට මුලින් සැලසුම් කර තිබූ ‘තුරු පිරි රටක්’ ව්‍යාපෘතිය ආරම්භ කර වසරක් ඇතුළතම සාර්ථකව නිම කිරීම පසුගියදා සමරනු ලැබීය.
 



 

“අප රටේ සාරවත් මෙන්ම ජෛව විවිධත්වයෙන් පිරි පරිසර පද්ධති සඳහාත්, බැංකුවේ තිරසාර මාර්ග සිතියම සහ අනාගත දැක්ම සඳහා මෙය වැදගත් සන්ධිස්ථානයක්,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දැක්වීය. “අප කරන්නා වූ සෑම ක්‍රියාකාරකමක් සමඟම අපගේ තිරසාර න්‍යාය පත්‍රය අන්තර් සම්බන්ධතාවයක් දක්වන අතර මෙම ව්‍යාපෘතිය සහ එහි ව්‍යාප්තිය පාරිසරික සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය සඳහා අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි. තනි මනසකින් යුත් කැපවීමක් සහිත, උද්‍යෝගිමත් මෙන්ම සමාන අදහස් ඇති පුද්ගලයින් සහ ආයතන සමඟ සම්බන්ධ වීමෙන් බැංකුවට ලබා ගත හැකි ජයග්‍රහණ පිළිබඳ මෙය විශිෂ්ට උදාහරණයක්ද වනවා.”

මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් සහ ප්‍රධාන ගණුදෙණුකරුවන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතිය නිම කිරීමේ සහ ඊට සමානුපාතික තවත් ව්‍යාපෘතියක් දියත් කිරීමේ ප්‍රධාන උත්සවය කොළඹ කොමර්ෂල් බැංකුවේ එලයිට් ශාඛාවේ දී පැවැත්විණ.

දිවයින පුරා පිහිටි තවත් කොමර්ෂල් බැංකු ශාඛා කිහිපයක් ද තම ප්‍රදේශවල ගනුදෙනුකරුවන් සමඟ සැමරුම් උත්සව පැවැත් වූ අතර, පාරිසරික තිරසාරභාවය සහ ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වය වෙනුවෙන් බැංකුවේ කැපවීම සංකේතවත් කරමින් සියලුම ආරාධිතයන්ට පැල පිරිනැමිණි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව