කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

Growndbreaking (LBN)

තාක්‍ෂණික සහ වාණිජ සබඳතා ආශ්‍රිතව කලාපීය වශයෙන් ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට නියමිත,  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා  මුල් ගල තැබීම 2024 මාර්තු 12 වැනි දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

නවෝත්පාදන සහ ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් …

මේ දක්වා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව සහ විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජයේ කැපවීම ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛතම ව්‍යාපෘතියකි. දකුණු ආසියානු කලාපයේ තාක්ෂණික හා වාණිජ ක්ෂේත්‍ර ආශ්‍රිතව ප්‍රමුඛතම ස්ථානයකට ශ්‍රී ලංකාව පත් කිරීමට මෙම ව්‍යාපෘතිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

 



 

ආර්ථික වර්ධනය සහ සහයෝගීතාව ශක්තිමත් කරන ව්‍යාපෘතියක්

වර්ධනය සහ සහයෝගීතාව සහතික කරන  උත්ප්‍රේරකයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය, ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නයේ  උපායමාර්ගික ව පිහිටා ඇත.  2024 වසරේ තුන් වන කාර්තුව වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ක්‍රියාත්මක කිරීමට අරමුණු කරන මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වර්ග අඩි 120,000 ක වපසරියකින් සහ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විත වන අතර, එමගින් තිරසාරත්වය සහ හරිත සංකල්පය ප්‍රවර්ධනය සඳහා කොළඹ වරාය නගරයට මනා සහයෝගයක් ලබා දෙයි. එමෙන් ම මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය නවීන සේවාවන්ගෙන් හා පහසුකම්වලින් සමන්විත වීම ද කොළඹ වරාය නගරයේ තිරසාර සංකල්පවලට උත්තේජනය සපයයි.

අනාගතයේ කොටස්කරුවන් වීමට ආරාධනයක් …

ගෝලීය මට්ටමේ සේවාවක් ලබා දෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මෙහෙයුම් කටයුතු ඇරඹීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට ඒ සඳහා අවස්ථාව උදා වී ඇති බව නිවේදනය කරන අතර, දකුණු ආසියානු කලාපය තුළ ඉහළ හැකියාවන් සහිත පාර්ශ්ව ආකර්ෂණය කර ගැනීමට, Ai ඇතුළු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ආශ්‍රිත දැනුම හා හැකියා වර්ධනයට නිරන්තර සහයෝගය ලබා දෙන, දකුණු ආසියාවේ හදවත නමින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මෙම උපාය මාර්ගික ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයේ කොටස්කරුවන් වීමට අනාගත ආයෝජකයින්ට සහ ගෝලීය ආයතනවලට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරාධනය කරයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ආර්ථික මධ්‍යස්ථානය මගින් නවෝත්පාදනය, වාණිජ වර්ධනය සහ සාර්ථකත්වය සඳහා ගමනාන්තයක් ලෙස ගෝලීය ආර්ථික ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරයත්වය ශක්තිමත් කරයි.

මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වූ අතර, මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති එච්.ඊ.  කුයි සෙන්හොංග්, ගරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි හා  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධක සමාගම ලෙස කටයුතු කරන  CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ යන මහත්වරු  මෙන් ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, විදෙස් ආයෝජකයින්, මෙරට තාක්ෂණික හා වාණිජ ක්ෂේත්‍රවල නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

කොළඹ වරාය නගරය පිළිබඳ ව :

ශ්‍රී ලංකාව ආර්ථික හා සාමාජීය වශයෙන් බල ගැන්වීමට අරමුණු කොළඹ වරාය නගරය ඩොලර් බිලියන ගණනක අරමුදල් සහිත දූරදර්ශී ව්‍යාපෘතියකි.  දකුණු ආසියාවේ දොරටුව යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ගෝලීය ආයෝජන අවස්ථාවලින්, ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික පරිසරයකින්, ගෝලීය මට්ටමේ යටිතල පහසුකම්වලින් සමන්විත වන අතර, තිරසාර මෙන්ම නවීන විශ්වීය ජීවන රටාවක් ප්‍රවර්ධනය කරයි. මෙම ව්‍යාපෘතියට අනුබද්ධිත විශේෂ ආර්ථික කලාපය හරහා,  උපාය මාර්ගික වැදගත්කමක් සහිත ව්‍යාපාර වෙනුවෙන් වසර 25කට අධික බදු සහන හා බදු නිදහස් කිරීම් ඇතුළු ව්‍යාපාරික හිතකාමී පරිසරයක් නිර්මාණය කර ඇති අතර, මෙම කලාපය තුළ ප්‍රාග්ධන හෝ විනිමය පාලනයකින් තොර ව විදේශ මුදල්වලින් ගනුදෙනු සිදු කෙරෙයි. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හරහා ආයෝජන පහසුකම්, සුඛෝපභෝගී යාත්‍රා අංගනයකින් සමන්විත මරීනා සිල්ලර වෙළෙඳ පහසුකම් සහ නිවාස පහසුකම් සමඟ ඩුබායි හෝ සිංගප්පූරුව ආශ්‍රිත  ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීමට කොළඹ වරාය නගරය අරමුණු කරන අතර, 2024 වසර තුළ දී  අපේක්ෂා කරන ආර්ථික වර්ධනය තුළින් මෙම කලාපය තුළ සුවිශේෂී වර්ධනයක් සමඟින්, තිරසාරභාවය සහ පුළුල් ජීවන තත්ත්වයක් ගොඩ නැංවීමට කොළඹ වරාය නගරය කැප වෙයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව