කොමර්ෂල් බැංකුව යාපනය ශාඛාව නව හරිත ගොඩනැගිල්ලක විවෘත කරයි

Jaffna branch reopening (1)

 




 

 

ඓතිහාසික මතකය යළි කැන්දමින් 1930 ගණන්වල සිට බැංකු සේවා හා සබැඳි ලිපිනයක කොමර්ෂල් බැංකුව විසින් සිය යාපනය ශාඛාව පසුගිය දා නැවත විවෘත කරන ලදී.

යාපනය ජනතාවට ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින් අංක 474, රෝහල පාර, යාපනය යන ලිපිනයේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී සැලසුම් වලට අනුකූලව අලූතෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක නව ශාඛාව මෙහෙයුම් ඇරඹීය.

මෙම ස්ථානයේ පිහිටි මුල්ම ගොඩනැගිල්ල 1973 වසරේදී මර්කන්ටයිල් බෑන්ක් ඔෆ් ඉන්ඩියා හි ශාඛා තුනක් කොමර්ෂල් බැංකුව විසින් අත්පත් කරගත් අවස්ථාවේදී බැංකුවේ අයිතියට පත්වූ අතර පරම්පරා ගණනාවක ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙහි සිට බැංකු සේවා ලබාදීමට බැංකුව කටයුතු කර ඇත. මෙම බැංකු ශාඛාව 1973 වසරේ සිට අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ඇති අතර මේ වනවිට කොමර්ෂල් බැංකුව යාපන අර්ධද්වීපය තුළ ශාඛා 12 ක් සහ උතුරු පළාත තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යයි.

මහල් පහකින් සමන්විත කොමර්ෂල් බැංකුවේ නව යාපනය ශාඛා ගොඩනැගිල්ල 2021 මාර්තු 15 වනදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙහි Cash Recycler යන්ත‍්‍ර පහක් (CRMs) eSlip චෙක්පත් එකතු කිරීමේ ස්ථානයක් සහ චෙක්පත් තැන්පතු කිරීමේ යන්ත‍්‍රයක් තිබෙන ස්වයංක‍්‍රීය බැංකුකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. බැංකුව සඳහන් කරන්නේ මෙම පහසුකම් තුළින් දිනයේ පැය විසිහතර පුරාම වසරේ දින 365 තුළම මුදල් ලබාගැනීමට සහ තැන්පත් කිරීමට පහසුකම් ලබාදී ඇති බවයි.

මෙම ගොඩනැගිල්ලේ වහලයේ සූර්ය පැනල සවිකිරීමට නියමිත බවත් එයින් ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය විදුලියෙන් විශාල ප‍්‍රමාණයක් උත්පාදනය කරන අතර වැසි දිය රැස්කිරිමේ පහසුකමක්ද මෙම ගොඩනැගිල්ලේ පිහිටුවීමට කටයුතු යොදා තිබේ. එසේම, මෙම ගොඩනැගිල්ලේ තිබෙන අප ජලය පිරිපහදු කිරීමේ පහසුකම මගින් ගෙවත්තට අවශ්‍ය ජලය පිරිපහදු කර ලබාගැනීමේ පහසුකම නිර්මාණය කර ඇත. මීට අමතරව, බලශක්තිය පිරිමසිමින් ස්වභාවික ආලෝකය ගොඩනැගිල්ල තුළ දිවා කාලයේදී උපරිමයෙන් ලැබෙන ලෙසට මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර තිබෙන අතර බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත වායුසමීකරණ මෙම ගොඩනැගිල්ලට සවිකර තිබේ. බැංකුවේ හරිත ගුණාංග තව තවත් ඉදිරියට ගෙන යමින් මෙහි තිබෙන උපකරණ සහ නාන කාමර සකස් කර තිබෙන්නේ ජල කාර්යක්ෂමතාවයෙන් යුක්තවයි. මීට අමතරව, මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී හරිත සහ නැවත නැවතත් භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය බොහෝ ප‍්‍රමාණයක් යොදාගත් බව බැංකුව සඳහන් කරයි.

මෙම නව ගොඩනැගිල්ල කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා විසින් නිළ වශයෙන් විවෘත කළ අතර මෙම අවස්ථාවට බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා සහ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

කොමර්ෂල් බැංකුව සිය ත‍්‍රිකුණාමලය ශාඛාවද පසුගියදා බැංකුවටම අයත් ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී ගොඩනැගිල්ලක අළුතින් ආරම්භ කරන ලදී.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව