කොමර්ෂල් බැංකුව, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සමග ව්‍යවසායිකාවන්ට සහතික පත‍්‍ර පාඨමාලාවක් හඳුන්වා දෙයි

Women Entrepreneur Course with PIM (LBN Fill)

 



 

 

 

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමග සම්බන්ධ වෙමින් කොමර්ෂල් බැංකුව විසින් ව්‍යවසායිකාවන්ගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව කුසලතාවය සංවර්ධනය කිරීම සඳහා නව සහතික පත‍්‍ර පාඨමාලාවක් හඳුන්වා දී තිබේ.

මෙම සහතික පත‍්‍ර පාඨමාලාව සඳහා මාස තුනක කාලයක් තුළ පැය 7 ක දේශන වට 3 ක් පවත්වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. එසේම, මෙම පාඨමාලාව අවසානයේදී ප‍්‍රායෝගික ඉදිරිපත් කිරීමක් පැවැත්වෙන බවත් බැංකුව පවසයි. මෙහිදී, ‘ව්‍යවසායිකාවන් සඳහා ව්‍යාපාර සංවර්ධනය’, ‘මූල්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡා තුළින් එකඟතාවයන්ට පැමිණීමේ මූලධර්ම’ සහ ‘නවෝත්පාදනය සහ සන්නාමකරණය’ යන මාතෘකා යටතේ දේශන පැවැත්වෙනු ඇත. මෙම දේශන වලින් පසුව ඒවාට සහභාගී වූවන් නව භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වාදීම පිළිබඳව ප‍්‍රායෝගික සැලසුමක්, එයට වැයවන පිරිවැය ඇස්තමේන්තුවක් සහ අලෙවිකරණ සැලසුමක් සමග ඉදිරිපත් කළ යුතුවේ. මෙම මාතෘකා තුනට අදාළ දේශන වලට සහ මෙම ඉදිරිපත් කිරීම සම්පූර්ණ කරන කාන්තාවන්ට මෙම සහතිකය පිරිනමන බව බැංකුව සඳහන් කරයි.

මෙම පාඨමාලාව මගින් ආවරණය කරන මාතෘකා අතරට අසීරු කාල වලදී ව්‍යාපාරයක් දියුණු කරගන්නේ කෙසේද? නව අවස්ථාවන් සොයාගන්නේ කෙසේද? ආදායම් වැඩිවන ලෙස ව්‍යාපාරයක් දියුණු කරගන්නේ කෙසේද? ව්‍යාපාරයක මූල්‍ය කටයුතු සැලසුම් කරගන්නේ කෙසේද? ව්‍යාපාරයක මූලික ගිණුම් වාර්තා සහ වාර්තා පවත්වාගන්නේ කෙසේද? ව්‍යාපාරයක් සඳහා අයවැය සකස් කරන්නේ කෙසේද? පිරිවැය කළමනාකරණය කරන්නේ කෙසේද? සැපයුම්කරුවන් සමග එකඟතාවයන්ට පැමිණීම සහ සබඳතාවයන් ගොඩ නංවා ගන්නේ කෙසේද? නව නිෂ්පාදනයක් සහ සේවාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන්නේ කෙසේද? ව්‍යාපාරික කාන්තා භූමිකාවේ සිට ව්‍යවසායිකා භූමිකාවට ගමන් කරන්නේ කෙසේද? විවිධ මාධ්‍යයයන් ඔස්සේ ව්‍යාපාරයක් ප‍්‍රවර්ධනය කරන්නේ කෙසේද? යන මාතෘකා ඇතුළත් වේ.

මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මූල්‍ය නොවන බැංකු සේවා යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයෙහි කුසලතා වර්ධනයට බැංකුව විශේෂ අවධානයක් දක්වනවා. අපි විසින් කාන්තා බැංකුකරණය පිළිබඳව මෑතක කළ වැඩසටහන් වලින් ව්‍යවසායිකාවන්ට සහයෝගය දැක්වීමට ප‍්‍රමුඛත්වය දී තිබෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත‍්‍රයට ණය සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව කාන්තා ව්‍යවසායකත්ව සහ කුසලතා සංවර්ධන කෙරෙහි දක්වන කැපවීමට මෙම නව වැඩසටහන උදාහරණයක්. මෙවැනි වැඩසටහන් මගින් බැංකුව ඉලක්ක කරන්නේ ව්‍යවසායිකාවන්ට තිබෙන අවස්ථාවන් සහ බැඳීම වැඩි කරමින් අභියෝගයකට මුහුණදීමේ දැනුම සහ කුසලතාවය වර්ධනය කිරීමටයි.’

මෙම වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම පසුගියදා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සහ කොමර්ෂල් බැංකුව අතර අත්සන් තැබුණු අතර මෙයට අදාළ නියමු පාඨමාලාව කොළඹ සහ කොළඹ මෙට්‍රෝ කළාපයේ ව්‍යවසායිකාවන් 30-40 අතර සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් බැංකුවේ කොළඹ 02 පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව බැංකුව සඳහන් කරයි.

මෙම නියමු වැඩසටහන මගින් ලැබෙන අදහස් සහ යෝජනාවන්ට අනුව මෙම පාඨමාලාව තවදුරටත් වැඩිදියුණු කරන බව බැංකුව සඳහන් කරයි. එසේම, ඉදිරියේදී ශ‍්‍රී ලංකාව පුරාම විසිරී සිටින සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂාවන් භාවිතා කරන ව්‍යවසායිකාවන්ට එම මාධ්‍යයෙන් මෙම පාඨමාලව ලබාදෙන බව බැංකුව වැඩිදුරටත් පවසයි. මෙම වැඩසටහනේ දෙවැනි වැඩසටහන මේ වනවිටත් බැංකුවේ උතුරු නැගෙනහිර ගනුදෙනුකාරිනියන් සම්බන්ධ කරගනමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව