කොමර්ෂල් බැංකුව කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ගස් 10,000ක් සිටුවීම අරඹයි

Tree planting in the north (LBN)

රටපුරා තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වශයෙන් යාපනය සහ කිලිනොච්චි යන උතුරු දිස්ත්‍රික්කයන්හි ගස් 10,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චි හා යාපනයෙහි අක්කර 600ක ඉඩම්වල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කය හරහා දිවෙන ඒ9 මාර්ගයේ දෙපස ගස් සිටුවීමට නියමිත බව බැංකුව පවසයි. මෙම ව්‍යාපෘතිය යාපනයේ ක්‍රියාත්මක වන ලාභ නොලබන පාරිසරික සංවිධානයක් වන ග්‍රීන් ලේයර් සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.
 



 

යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී  දියත් කරන ලද මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන්  මහතා, කළමණාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහ බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගි වූහ. මේ සඳහා තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය ටී. කේතීසන්, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ. පකීරතන් සහ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය ඒ. කනේස්වරන් ඇතුළු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ද එක් විය.

ව්‍යාපෘතියේ පළමු අදියර දෙක ඔස්සේ මාසයක් තුළදී ගස් 3000 බැගින් සිටුවනු ඇති බවත් තෙවන හා අවසාන අදියරේදී ගස් 4000ක් රෝපණය කරනු ඇති බවත් බැංකුව පවසයි. මෙම ව්‍යාපෘතිය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාරිසරික භූ දර්ශනය වැඩිදියුණු කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාව මත ධනාත්මක බලපෑමක් ඇති කරයි.

මෙම ව්‍යාපෘතිය කොමර්ෂල් බැංකුව දැනට පවත්වාගෙන යන ‘තුරු පිරි රටක් ’ නම් රට පුරා ගස් 100,000 ක් සිටුවීමේ මුලපිරීමට සහාය වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිමක නැවත වනවගාව ද බැංකුව විසින් සිදුකරමින් සිටියි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව