ඔලිම්පික් උණුසුම උත්කර්ෂයට නංවමින් MAS, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ නිල ඇඟලුම් සහකරු ලෙස එක් වෙයි

1. Signing of the National Olympics Committee and MAS Agreement (LBN)

MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි

  • MAS, 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා වන ඔලිම්පික් ඇඟලුම් කට්ටලය එළි දක්වයි
  • ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක්ව MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි
  • සමස්ත ලංකා දක්ෂතා පදනම් කර ගනිමින් ඇකඩමියට සිසු සිසුවියන් 56 දෙනෙකු ඇතුළත් කර ගනියි

 



 

MAS Holdings 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙස කටයුතු කරන බව පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී නිවේදනය කළේය. ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නිල වශයෙන් එම ක්‍රීඩා ඇඟලුම් කට්ටල භාර දීමද මෙහිදී සිදු විය. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී හෙට දවසේ ඔලිම්පික් තරඟ නියෝජනය කිරීම වෙනුවෙන් තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, සංවර්ධනය හා සහයෝගය ලබා දීම අරමුණු කොට ගත් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කිරීමද සිදු විය.

ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුබ පැතුම් එක් කරමින් MAS Holdings හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම හා විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට දායාද කිරීම වෙනුවෙන් නව පරපුරක් පුහුණු කිරීම ඉතා වැදගත් වනවා. මෙවර ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ සුභ පැතුම් එක් කර සිටින අතර ඔවුන් දිරි ගැන්වීම වෙනුවෙන් එක් වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි” යනුවෙනි.

මෙවර ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් කට්ටලය නිර්මාණය කිරීමේ වගකීම MAS හි අනුබද්ධ ආයතනයක් වන Bodyline පුද්ගලික සමාගම වෙත පැවරුන අතර ඔවුන් ඒ සඳහා ඓතිහාසික ඇම්බැක්කේ දේවාල කැටයම්හි අන්තර්ගත සුවිශේෂී කැටයමක් වන ‘අංගම්පොර’ කැටයම යොදා ගනු ලැබුවේ ප්‍රොඪ දේශීය අභිමානය ලොවට ගෙන හැර පෑමට කටයුතු කරමිනි.

MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ “ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ලැබීම ඕනෑම ක්‍රීඩකයකුගේ සිහිනයක්. ඔලිම්පික් ඉලක්ක කරගනිමින් අනාගත තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම ඉතා වැදගත් යැයි අප සිතනවා. මෙවර කණ්ඩායම දෙස බලන විට මෙම සිහිනය සැබෑ කර ගත හැකි බව අපට ඔවුන්ට පෙන්වා දිය හැකියි. ඒවගේම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී ඔවුන්ගේ ජයග්‍රහණ කරා රැගෙන යාමට MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය උපකාර වනු ඇතැයි අප තුළ දැඩි විශ්වාසක් තිබෙනවා.” යනුවෙනි.

2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය

2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුව මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සය දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට මලල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් හා ක්‍රීඩකයෙක් (දිල්හානි ලේකම්ගේ, තරුෂි කරුණාරත්න සහ අරුණ දර්ශන), පිහිනුම් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් (කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න) මෙන්ම බැට්මින්ටන් ක්‍රිඩකයෙක් (විරේන් නෙත්තසිංහ) අයත් වේ. විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා ප්‍රථම වරට ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කිරීමයි.

 

MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය

රුපියල් මිලියන 650ක සුවිසල් ආයෝජනයක් මත වසර 8ක කාලයක් සඳහා ආරම්භ කරන ලද MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය මලල ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන විශාලතම තනි රාජ්‍ය – පුද්ගලික  සහයෝගීතා ව්‍යාපෘතිය ලෙසද සඳහන් කළ හැකිය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය MAS අත්වැල් බැඳගෙන ඇත.

මෙම ඇකඩමිය මඟින් දක්ෂ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා සුවිසල් ක්‍රියාවලියක් දියත් කිරීමට කටයුතු යොදා ඇත. එසේම විශේෂිත පරීක්ෂණ හා තෝරා ගැනීමේ කඳවුරු හරහා විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමද මෙහිදී සිදු වේ. තවද මෙමගින් ප්‍රතිලාභ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ඔවුන්ගේ මලල ක්‍රීඩා වෘත්තීන් හරහා, අරමුදල්, උපකරණ, අධ්‍යපන සහයෝගය, පෝෂණ අතිරේක, පුහුණු ගාස්තු ඇතුළුව ජාත්‍යන්තර පුහුණුව හා අවස්ථාවන් ලබා දීම ද මෙහි අරමුණක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා “තරුණ තරුණියන්ගේ පරිපූර්ණ සංවර්ධනය වෙනුවෙන් ක්‍රීඩාවෙන් ඉටුවන මෙහෙවර ඉතා විශාලයි. ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය, මානසික යහ පැවැත්ම, ක්‍රියාකාරීත්වය, නායකත්වය මෙන්ම අභියෝගයවලට මුහුණ දීම වැනි අත්‍යවශ්‍ය ගුණාංගයන් ඔප් නැංවීමේ හැකියාව ද ක්‍රීඩාව සතුයි. මෙම ක්‍රීඩා ඇකඩමිය ඒ සඳහා වන සුවිසල් ආයෝජනයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම පුහුණු ඇකඩමිය, පිටියේදී මෙන්ම ඉන් පිටතදීත් තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනය සඳහා වූ වැදගත් පියවරක් වන අතර මෙවන් උත්සාහයන් අනාගත පරපුර උද්‍යෝගීමත් කිරීම සඳහා මගපෙන්වීමක් ලෙසින්ද ඉතා වැදගත් වනවා’‘යනුවෙන් පැවසීය.

MAS පුහුණු ඇකඩමිය සඳහා තෝරා ගනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සිය සහතික පත් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ දෙමව්පියන්, පුහුණුකරුවන් සහ පාසල් විදුහල්පතිවරුන් සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියේය. මෙම පුහුණු ඇකඩමියේදී අති නවීන ඩිජිටල් යෙදවුමක් (app) භාවිතයෙන් ඔවුන්ගේ දක්ෂතාවයන් හා පුහුණු ප්‍රමිතීන් නිරීක්ෂණය කරනු ඇත.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තියක් වෙමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන MAS හි තවත් සුවිසල් ඉදිරි පියවරක් ලෙස මෙම මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සඳහන් කළ හැකිය. 2024 සිට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරඟාවලිය දක්වා මෙරට මලල ක්‍රීඩාව සඳහා නිල ඇඟලුම් සහකරු ලෙසින් ද Bodyline පසුගියදා අත්සන් කරනු ලැබීය. එසේම MAS හි අනුවර්තනීය ඇඟලුම් සන්නාමය වන Lable ශ්‍රී ලංකා පැරාලිම්පික් සංගමය වෙත සිය සහයෝගය ලබා දෙමින් පැරාලිම්පික් ක්‍රීඩකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අනුවර්තන කාර්යසාධන ඇඟලුම් ලබා දීමටද කටයුතු කරනු ලබයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව