ඉන්දියානු රුපියල් භාවිතයෙන් ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා අමානා බැංකුව අවස්ථාව සලසයි.

Chief Operating Officer - Imtiaz Iqbal (LBN)

 


 

 

ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස සිදුකිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්, ව්‍යාපාර සඳහා සෘජුවම ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව අමානා බැංකුව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල මෙරට තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස භාවිතා කිරීමට අනුමැතිය ලබාදුන් අතර, මෙය දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය හෙවත් සාර්ක් කලාපය තුළ වෙළඳ කටයුතු සම්බන්ධ නව යුගයක ආරම්භයක් වනු ඇත.

මේ අනුව මින් ඉදිරියට ව්‍යාපාරවලට සෘජුවම ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසීම නිසා, විදේශ විනිමය හුවමාරු අලාභයන් සිදුවීමේ අවදානමද අවම වේ. එමෙන්ම රට තුළ තවමත් සීමිත මට්ටමක පවතින ඩොලර් සංචිතය ආරක්ෂා කරගැනීමටද ඉන් හැකියාව ලැබේ. මේ ඔස්සේ ආනයන හා අපනයන කටයුතු සිදුකරන ගනුදෙනුකරුවන්ට සිය ණයවර ලිපි සහ අත්තිකාරම් ගෙවීම් ආදිය වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස සිදුකිරීමට අවස්ථාව ලබාදීමට අමානා බැංකුව බලාපොරොත්තු වෙයි.

“ඉන්දියාව යනු අපගේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් තම ආනයන හා අපනයන කටයුතුවලදී ප්‍රධාන වශයෙන් ගනුදෙනු කිරීමට යොමු වන රටක්. ඒ අනුව විවිධ රටවල් අතර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දියානු වෙළඳපොලේ නැගී එන අවස්ථාවන්ට ප්‍රවේශ වීමට මෙරට ව්‍යාපාරවලට අවස්ථාව ලබාදීමට අප සෑම විටම උත්සාහ කරමින් සිටිනවා. මේ ආකාරයට ඉන්දියානු රුපියල් භාවිතයෙන් සෘජු වෙළඳ ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව සලසා දීම එම උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මේ සම්බන්ධයෙන් එසේ තම අදහස් දැක්වී ය.

“පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හමුවේ අමානා බැංකුව මෙරට ව්‍යාපාර සඳහා ආහාරපාන, ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පහසුකම් සලසා දීමට කටයුතු කළා. මෙලෙස ඉන්දියානු රුපියල් මගින් ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසීම තුළින් එම ව්‍යාපාර සඳහා තවදුරටත් වර්ධනය වීමට මෙන්ම, ඒ ඔස්සේ රටේ ජනතාවගේ යහපැවැත්මට වැඩි වශයෙන් දායක වීමට අවස්ථාව ලැබේවි.” අන්තර්ජාතික වෙළදාම වැඩිදියුණු කිරීම සඳහා බැංකුව දක්වන දායකත්වය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ඉම්තියාස් ඉක්බාල් මහතා අදහස් දැක්වී ය.

“අතීතයේ පටන්ම අමානා බැංකුව ප්‍රධාන පෙළේ විදේශ මුදල් වර්ග භාවිතයෙන් ජාත්‍යන්තර වෙළඳ කටයුතු සිදුකිරීම සඳහා පහසුකම් සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල මෙරට තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව, නව ඉන්දියානු රුපියල් නොස්ට්‍රො ගිණුමක් හඳුන්වා දෙමින් අපගේ ගනුදෙනුකරුවන්ටත්, ඔවුන් සමග ගනුදෙනුකරන පාර්ශ්වවලටත් වඩාත් පහසුවෙන් වෙළඳ ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව සලසා දීමට අප පියවර ගත්තා. වර්තමාන වනවිට අමානා බැංකුව ලොවපුරා විසිරී ඇති 60කට අධික ජාත්‍යන්තර නියෝජිත බැංකුකරණ සේවා ජලය සමග අත්වැල් බැඳගනිමින්, විදේශ මුදල් වර්ග 11 ක් භාවිතයෙන් ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එමෙන්ම අප ආසියානු සංවර්ධන බැංකුවේ විදේශ වෙළඳාම් හා සැපයුම් දාම මූල්‍ය පහසුකම් වැඩසටහනේ (Trade & Supply Chain Finance Program) සාමාජිකයෙකුද වනවා.” අමානා බැංකුවේ භාණ්ඩාගාර හා මූල්‍ය ආයතන ප්‍රධානී හරීන්ද්‍ර ඔබේසේකර මහතා තම අදහස් දැක්වී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව