ඇමරිකානු තෙල් කැනීම්කරුවන්ගේ නිල ඇඳුම් නිෂ්පාදනය කරන මෙරට පවුලේ ඇඟළුම් ව්‍යාපාරය

Image 05

 




 

‘‘1986 දී මගේ දෙමව්පියන් මේ ව්‍යාපාරය ආරම්භ කරන කොට මා ඉපදිලාවත් නෑ. ආරම්භයේදී ඔවුන් පළමුවෙන්ම අවධානය යොමු කළේ දේශීය වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමටයි.’’ යනුවෙන් අශෝක් ගාමන්ට් හි ප‍්‍රධාන මූල්‍ය නිළධාරී මෙනුක ගුණවර්ධන සිය මතකය ආවර්ජනය කළේය.

හෝමාගම පිහිටි මධ්‍යම පරිමාණයේ ඇඟලූම් ව්‍යාපාරයක් වන අශෝක් ගාමන්ට්ස්, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාවේ තෙල් කැණීම්, ඉදිකිරීම්, දැව නිෂ්පාදනය ආදී ක්ෂේත‍්‍රවල සේවය කරන සේවකයින් සඳහා ආරක්ෂිත ඇඳුම් හා නිල ඇඳුම් නිෂ්පාදනය කරනු ලබයි. මේ වන විට සේවකයින් 200 ක් පමණ අශෝක් ගාමන්ට්ස් හි සේවය කරන අතර ඉන් බහුතරය වන්නේ කාන්තාවන්ය.

තවමත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වන මෙනුකගේ මව වන අශෝකා ගුණවර්ධන සහ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන පියා වන සුනිල් ගුණවර්ධන එක්ව සේවකයින් 20 දෙනෙකු සමඟින් මීට වසර 25කට ඉහතදී මෙම ව්‍යාපාරය ආරම්භ කළේය. 1994 දී ව්‍යාපාරයේ අවධානය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ භාවිතා කරන ඇඳුම් නිෂ්පාදනය කිරීම කෙරෙහි යොමු වූ අතර මේ දක්වා එය සාර්ථක ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යනු ලබයි.

අශෝක් ගාමන්ට්ස් අනෙක් බොහෝ ඇඟළුම් ව්‍යාපාරවලින් වෙනස් වන්නේ ඔවුන් වෙනත් ඇඟළුම් ව්‍යාපාර මෙන් ‘වුවමනාවට’ නොව පුද්ගලයින්ගේ සැබෑ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නිෂ්පාදනය කරන සමාගමක් වන නිසාය. අනෙක් විලසිතා ඇඟළුම් නිෂ්පාදනය කරන ඇඟළුම් ව්‍යාපාර මෙන් ආකර්ෂණීය ලාභ මට්ටමක් නොමැති වුවද ගැණුම්කරුවන්ගෙන් ලැබෙන ඇණවුම් ස්ථාවර වීම හා මෙය පවුලේ ව්‍යාපාරයක් වීම නිසා ව්‍යාපාර කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යයි.

‘‘අපගේ ගැනුම්කරුවන් අපට එවනු ලබන අමුද්‍රව්‍යවලින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අප නිෂ්පාදනය කරනවා. එනිසා අපට අපගේ ව්‍යාපාරය දිගුකාලීනව සාර්ථකව කරගැනීමට අවස්ථාව ලැබෙනවා.’’

 




 

 

”මෙහි සේවයට එක්වන බොහෝ දෙනෙක් විවාහ වී දරුවන් ලැබෙන තුරු අප සමඟ සිටිනවා. තවත් සමහරු පූර්ණකාලීන මව්වරුන් වීම සඳහා රැකියාවෙන් ඉවත් වන නමුත් මේ ව්‍යාපාරය ආරම්භයේ සිටම අප සමඟ සිටි කිහිපදෙනෙකු ද අදටත් අපට සේවය කරනවා.”

වැටුප් ලබා දීමට අමතරව, සමාගම සේවකයින්ගේ රැකියාව හා ජීවිතය සමබර කිරීමේ වැදගත්කම පිළිබඳව සිහිතබා ගනිමින් ඔවුන් වැඩකරන පැය ගණන පැය 8 සිට උපරිම පැය 9ක් දක්වා පවත්වා ගැනීමට උත්සාහ කරයි. එමෙන්ම සමාගම විසින් සේවකයින්ට ජීවිත රක්ෂණාවරණ ඇතුළු වෙනත් ප‍්‍රතිලාභ ද සලසා දී තිබීම සේවකයින්ගේ සතුටට හේතු වී තිබේ.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් සමාගමටද අභියෝගවලට මුහුණ දීමට සිදු වූ අතර එහිදී අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී හා සේවකයින් රැකියා ස්ථානයට ගෙන්වා ගැනීමේදී ඇති වූ දුෂ්කරතා පෙන්වා දිය හැකිය. කෙසේවෙතත්, මෙම දුෂ්කරතා බොහෝ සෙයින් මඟහරවා ගෙන ඉදිරියට යාමට සමාගමට හැකි වී තිබෙන අතර මේ වන මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනු ලබයි. නමුත් වත්මන් තත්වය තුළ භාණ්ඩ ප‍්‍රවාහනයේදී බහාලූම් සඳහා තවමත් ඉහළ ගාස්තුවක් ගෙවීමට සිදු වන බවද මෙනුක පෙන්වා දෙයි.

එහෙත්, සමාගම මේ වන විට සාර්ථකව ඉදිරියට ගමන් කරයි. පසුගිය වසර 25 තුළදී තම සේවක මණ්ඩලය සාමාජිකයින් 20 සිට 200 දක්වා වැඩි කරගැනීමට හැකි වීම අශෝක් ගාමන්ට් හි සාර්ථක ඉදිරි ගමනට සුබවාදී බලාපොරොත්තුවක් බව සඳහන් කරන මෙනුක ‘‘සමහරවිට ඉදිරි වසර පහ හෝ හය තුළදී අපගේ සේවක සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කරගැනීමට අපේක්ෂා කරනවා.’’ යනුවෙන් පවසයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව